ලෙවී ව්‍යවස්ථාව – 12 වන පරිච්ඡේදය –

දරු උපතින් පසු වත්පිළිවෙත්

1 සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, 2 ”ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්නැ”යි වදාළ සේක. ”ස්ත්‍රියක ගැබ්ගෙන පිරිමි දරුවෙකු ලැබුවොත්, ඈ ඔසප් ව සිටිය දිනවල දී මෙන් ම හත් දවසක් අපවිත්‍ර ව සිටින්නී ය. 3 අට වන දවසේ දී ඒ දරුවාගේ චර්මාග්‍රය ඡේදනය කළ යුතු ය. 4 ඉන්පසු ඈ සම්මත චාරිත්‍ර අනුව ඇගේ ලේ යාමෙන් පවිත්‍ර වීම පිණිස දවස් තිස්තුනක් සිටිය යුතු ය. ඇගේ පවිත්‍ර වීමේ දවස් සම්පූර්ණ වන තෙක් ඈ කිසි ශුද්ධ දෙයක් ස්පර්ශ නොකළ යුතු ය. ශුද්ධස්ථානයට ඇතුළු නොවිය යුතු ය. 5 එහෙත්, ඈ ගැහැණු දරුවෙකු ලැබුවොත්, ඈ ඔසප් දිනවල දී මෙන් සති දෙකක් අපවිත්‍ර ව සිටින්නී ය. ඉන්පසු ඈ සම්මත චාරිත්‍ර අනුව ඇගේ ලේ යෑමෙන් පවිත්‍ර වීම පිණිස දවස් හැටහයක් සිටිය යුතු ය.
6 ”පුතෙකු හෝ දුවක හෝ සඳහා ඇගේ පවිත්‍ර වීමේ කාලය සම්පූර්ණ වූ පසු ඈ සම්මුඛ මණ්ඩපයේ දොරකඩ පූජකවරයා වෙත දවන යාග පූජාවක් සඳහා අවුරුද්දක් වයසැති බැටළුවෙකු ද පාප පූජාවක් සඳහා පරෙවි පැටියෙකු හෝ කොබෙයියෙකු ද ගෙනා යුතු ය. 7 පූජකවරයා එය සමිඳාණන් වහන්සේට පුදා ඇගේ පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කරනු ඇත. පිරිමි දරුවෙකු හෝ ගැහැණු දරුවෙකු හෝ ලැබූ පසු ස්ත්‍රියක ඉටු කළ යුතු පිළිවෙත මෙය වේ. 8 තවද, ඈට බැටළුවෙකු ගෙනෙන්නට වත්කමක් නැති නම්, කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ ගෙනා යුතු ය. එකෙක් දවන යාග පූජාව සඳහා ය, අනෙකා පාප පූජාව සඳහා ය. පූජකවරයා ඈ උදෙසා මෙලෙස පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කළ විට ඈ පවිත්‍ර වනු ඇත.”

Suba Asna - සුබ අස්න

FREE
VIEW