ලූර්දුවේ හාස්කම්

ලූර්දුවේ ප්‍රාතිහාර්යාත්මක ජල උල්පත පිළිබදව බර්නදෙත් තුමිය වෙත දන්වන ලද්දේ 1858 පෙබරවාරි 25 වන බ්‍රහස්පතින්දා සිදුවූ නවවන දර්ශනය අවස්ථාවේදීය. ලූර්දු ජලයෙන් පවිත්‍ර වීමටත් එම ජලය පානය කිරීමටත් එදින දේව මාතාවෝ බර්නදෙත් තුමිය වෙත දන්වා සිටියාය. එදා මෙදා තුර ලක්ෂ සංඛ්‍යාත සැදැහැවත්තු දේව මවුන් විසින් වදාළ පරිදි ලුර්දු ජලය පානය කිරීමට හා ඉන් පවිත්‍ර වීමටත් එමගින් දේව මාතාවන්ගේ මධ්‍යස්ථකමින් දෙවිදාණන් වෙතින් සුවය ලැබීමටත් ලූර්දු නුවර කරා එක්රොක් වෙති. මෙලෙස වසරක් තුල පැමිණෙන සැදැහැවතුන් සංඛ්‍යාත්මකව මිලියන පහක් ඉක්මවන බව වාර්තාගතය.

ලූර්දු ජලයේ ප්‍රාතිහාර්යාත්මක බලයෙන් සුවය අත්දුටුවන් පිළිබදව වාර්තා වන්නේ බර්නදෙත් තුමිය ජීවමානව සිටි සමයේ සිටමය. එදා මෙදා තුර එවන් හාස්කම් දහස් ගණනක් වාර්තා වී ඇත.

නිල වශයෙන් පිළිගෙන ඇති පළමු හාස්කම 1858 මාර්තු 1 වනදා සිදුවුවකි. 38 වියේ පසුවූ ගෘහනියක වූ කැතරින් ලතාප මහත්මිය ලූර්දුවේ සිට කි.මී 6ක් පමණ දුරින් වූ ලුබජැක් නම්වූ කුඩා ගමක විසූ සිව් දරු මවක වුවාය. ඇයගේ දරු දෙදෙනෙකුම කුඩා වියේදීම මරු තුරුලට ගොස් තිබිණි. ඇය ගසකට නැගීමේදී ඉන් ඇද වැටීම නිසා දකුණු බාහුව බිදී හන්දිය පැනීම නිසා ආබාධිත තත්වයේ පසුවූයේ වසර දෙකක පමණ සිටය. මේ නිසා දකුණත නිසි පරිදි ක්‍රියා නොකරන තත්වයකට පත්ව තිබු අතර ඇගිලි කිහිපයක් සම්පුර්ණයෙන්ම අකර්මණ්‍යව පැවතින. මාර්තු පළවනදා උදේ අවදි වූ ඇයට හැගුනේ කවුරුන් හෝ ලූර්දුවේ මසබියල් පව්ව වෙත ගොස් සුවය අත්දකින ලෙස ඇයට ආරාධනා කරන බවකි. සිය දරු දෙදෙනාද සමග ලූර්දු කරා පැමිණි ඇය බර්නදෙත් තුමියද හමුවී කථිකා කරගෙන මසබියල් පව්වේ දිය උල්පත වෙත පැමිණියාය. දිය බුබුලට දෑත් දැමු ඇය දේව මෑණියන්ට යාච්ඤා කලාය. ආශ්චර්යයකි. අක්‍රීයව පැවති ඇයගේ ඇගිලි පෙර මෙන් යලි සක්‍රීය වන්නට විය. දකුණත වැඩ කළ හැකි තත්වයකට පත්විය. මේ නම් දේව බලයෙන් සිදුවූ හාස්කමක් මැයි වටහාගත් ඇය අතිශය ප්‍රීතිප්‍රමෝදයට පත්ව ස්තුති යාච්ඤාවේ යෙදුනාය.

දරු ප්‍රසුතියකටද ආසන්නව සිටි කැතරින් ප්‍රකාශ කර ඇත්තේ ජලයට අත දැමු සැනින් තමනට විස්තර කළ නොහැකි තරමේ අමුතු හැගීමක් ආවේගශ්‍රිලි බවක් දැනුනු බවය. මොන්ට්පේලියර් වෛද්‍යය පීටයේ මහාචාර්යය වෛද්‍ය වර්ගීස් ප්‍රමුඛ විශේෂඥ කණ්ඩායමක් මෙම සිදුවීම ගැන දිගින් දිගටම පර්යේෂණ පැවැත්වූ අතර සාමාන්‍ය වෛද්‍යය ඥානයෙන් වටහාගත නොහැකි ප්‍රාතිහාර්යය 1862 ජනවාරි 18 වන දින ටාබස් හි රදගුරු ලෝරන්ස් හිමිපාණන් විසින් නිල වශයෙන් පිළිගත් බව ප්‍රකාශයට පත් කෙරිණි.

නිල වශයෙන් පිළිගෙන ඇති දෙවන ලූර්දු ප්‍රාතිහාර්යය 54 වියැති දෑස් අඳ අයකු විස්මිත ලෙස සුවය ලැබීමකි. එම සිදුවීමට වාසනාව ලද්දේ ප්‍රංශයේ ලූර්දු හි ලුවී බවරෙට් මහතාය. වසර දෙකක සිට සිය දකුණු ඇසෙහි අන්ධ භාවයෙන් පීඩා විඳි ඔහු වෘත්තියෙන් කම්කරුවෙක් විය. ඒ ඊට වසර 18ට පෙර ඔහු අත්දුටු හදිසි අනතුරක අතුරු ඵලයක් ලෙසිනි. එම අනතුරේදී ඔහු සමඟ සිටි සොහොයුරු ජෝශප්ට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වුවද ලුවී ජීවත් වීමේ වරය ලද්දේය.

ලුවී මෙලෙස ප්‍රකාශ කර ඇත. “බර්නදෙත් මසබියෙල් පව්වේ මඩකඩිත්ත දෝතින් හෑරූ දිය උල්පත මතු කර ගත් විගස මා කල්පනා කලේ මේ ජලයෙන් මගේ ඇස සුව කර ගත හැකිද යන වගය. මම එම ජලය ස්නානය කළෙමි. යළි යළිත් ස්නානය කලෙමි. දණින් වැටී දෙවි මවුන් යැදිමි. විස්මිත ලෙස මගේ ඇසට යලි පෙනීම ලැබිණි.” 1858 මාර්තු මාසයේම වූ මෙම ප්‍රාතිහාර්යය මොන්සිඤ්ඤොර් ලෝරන්ස් හිමිපාණන් විසින් පත් කෙරුණු වෛද්‍ය ඩෝසයුස් මූලිකත්වය දැරූ පරීක්ෂණ මණ්ඩලය විසින් විමර්ශනය කෙරිණි.

1860 අප්‍රේල් මස මොන්ටිපේලියර් වෛද්‍ය පීඨයේ මහාචාර්ය හෙන්රි වර්ගීස් මෙය ප්‍රාතිහාර්යයක් බව තහවුරු කළේය. 1862 ජනවාරි මස මොන්සිඤ්ඤොර් ලෝරන්ස් හිමිපාණන් මෙය ප්‍රාතිහාර්යයක් බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

ප්‍රාතිහාර්යාත්මක ලූර්දුවේ සිදුවූ පළමු ප්‍රාතිහාර්යය හතම ප්‍රංශ ජාතිකයන් වටා සිදු වූ අතර ලූර්දුවේ හාස්කම් දිනෙන් දින ලොව පුරා ප්‍රචලිත වන්නට විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලොව පුරා දස දහස් ගණන් ලක්ෂ ගණන් සැදැහැවතුන් ලූර්දු පුදබිම කරා ඇදෙන්නට විය.

වම් පාදයේ ආබාධයකින් සුවය ලබන්නට වාසනාව ලද බෙල්ජියානු ජාතික පියරේ ඩි රඩිර් මහතා ලූර්දුවේ හාස්කම් නිසා සුවය අත්දුටු ප්‍රථම විජාතිකයා ලෙස සටහන්ව ඇත. එවකට 52 වියේ පසුවූ ඔහු 1875 අප්‍රේල් 7 දා සුවය අත්දුටුවේය. ඊලග නිල වශයෙන් පිළිගත් ප්‍රාතිහාර්යයට හිමිකම් කියන්නේද බෙල්ජියම් ජාතිකයෙකි. දකුණු පාදයේ වණයකින් විශ්මිත ලෙස සුවය අත්දුටු 29 වියැති තරුණියක වන ඩි. හාන්ට් ජෝකිම් මෙනවිය 1878 සැප්තැම්බර් 13 දා ලූර්දු ජලයේ හාස්කමින් සුවය ලැබුවාය.

ඔබ ප්‍රාතිහාර්යාත්මක ලූර්දු ගුහාවේ ඡායාරූප වල දැක ඇති කිහිලි කරු ගුහාවේ එල්ලා ඇති ආකාරය. මේ විවිධාකාර රෝග වලින් පෙළුණු සැදැහැවතුන් කිහිළි කරු ආධාරයෙන් ලූර්දු ගුහාව වෙත පැමිණියද එහිදී ලද සුවය තුල ඔවුන් කිහිලි කරු නොමැතිය නැවත යන විට ඒ ආධාරයට ගෙනා කිහිලි ගුහාවේ එල්ලා ඇති ආකාරයයි.

එදා මෙදා තුර මිලියන ගණනක් වූ සැදැහැවතුන්ගේ පුජනීයම වන්දනා ස්ථානයක් වූ ලූර්දුව බොහෝ ප්‍රාතිහාර්යයන්ගෙන් සමන්විත පුද බිමකි. එමෙනම් කිව යුතු අනික් කරුණ නම් ඔබට ලූර්දු පුදබිමට යාමට නොහැකියි කියා කිසිම මොහොතක දුක් විය යුතු නැත. මන්ද දේව මෑණියන්ගේ ආශිර්වාදය ලැබීමට තිබිය යුතු ප්‍රධාන ගුණාංගය නම් ජේසුස් වහන්සේ වදාළ පරිදි ජීවත් වීම බව සිතට ගන්න.

Suba Asna - සුබ අස්න

FREE
VIEW