රාජාවලියේ පළමු වන පොත – 2 වන පරිච්ඡේදය –

දාවිත් රජුගේ අන්තිම අවවාදය සහ මරණය

1 දාවිත් රජතුමා නසින කාලය ආසන්න විය. ඔහු ස්වකීය පුත් සලමොන්ට මෙසේ අණ කෙළේ ය. 2 ”කොයිකාටත් පොදු අන්තිම ගමන මම යමි. එබැවින් ඔබ ශක්තිමත් වී, වීරයෙකු මෙන් ක්‍රියා කරන්න. 3 ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ නියමයන් ඉටු කරමින්, දෙවි මඟ ගමන් කරන්න. ඔබ කරන සියල්ලේ දී ද ඔබ යන සෑම තැන්වල දී ද ඔබට ශුභසිද්ධිය සැලෙසන පිණිස මෝසෙස්ගේ නීති සංග්‍රහයේ සටහන් පරිදි උන් වහන්සේගේ ආඥා හා පණත් ද විනිශ්චයයන් හා ශික්ෂා පද ද පිළිපදින්න. 4 ඔබ එසේ කළොත්, සමිඳාණන් වහන්සේ මට වදාළ පරිදි, ‘ඔබේ දරුදැරියෝ තම තමන්ගේ මුළු හෘදයෙන් ද මුළු සිතින් ද මා ඉදිරියෙහි සත්‍යවාදී ව හැසිරෙන ලෙස තමන්ගේ ජීවන මාර්ගය ගැන බලාගන්නෝ නම්, ඉශ්රායෙල්වරුන්ගේ සිංහාසනය අරා හිඳීමට ඔබට කෙනෙක් නැති ව නොයන්නේ ය.’
5 ”තවද, ශෙරුයාගේ පුත් ජෝවාබ් විසින් මට කරනු ලැබූ දේ එනම්, ඉශ්රායෙල් හමුදාවල සෙන්පතීන් දෙදෙනා වූ නේර්ගේ පුත් අබ්නේර්ටත්, ජෙතෙර්ගේ පුත් අමාසාටත් කළ දේ ඔබ දන්නෙහි ය. ඔහු ඔවුන් මරා, සාමය ඇති කාලයේ දී යුද්ධ ලේ වගුරුවා මාගේ ඉඟපටියෙහිත්, මාගේ පා වහන්වලත් යුද්ධ ලේ තැවරුවේ ය. 6 එබැවින් ඔබ ස්ථානෝචිත ප්‍රඥාව ඇතිව ක්‍රියා කරමින් ඔහුට මහලු වයසේ දී සැනසිල්ලෙන් මැරෙන්න ඉඩ නොදෙන්න.
7 ”එහෙත්, ගිලියද් ජාතික බර්ශිල්ලයිගේ පුත්‍රයන් හට කරුණාව පෙන්වා, ඔවුන්ට ඔබේ මේසයෙන් ආහාර පාන අනුභව කරන්නට අවසර දෙන්න. මන්ද, ඔබේ සහෝදර වූ අබ්සලොම්ගෙන් මා පලා ගිය විට ඔව්හු එලෙස මා ළඟට පැමිණියෝ ය.
8 ”තවද, බහුරීම් නම් නගරයේ බෙන්‍ජමින්ගේ ගෝත්‍රයේ ගේරාගේ පුත් ෂිමෙයි ඔබ ළඟ සිටියි. මා මහනයිම් නම් ස්ථානයට ගිය දවසේ දී ඔහු මට ඉතා තදින් සාප කෙළේ ය. එහෙත්, ඔහු ජොර්දාන් ගඟ අසල මා හමු වූ විට, මම ද, ‘ඔබ කඩුවෙන් නොමරන්නෙමි’යි සමිඳාණන් වහන්සේගේ නමින් දිවුළෙමි. 9 එහෙත්, ඔහුට දඬුවම් නොකර නාරින්න; ඔබ පැණවත් මිනිසෙකු බැවින් ඔහුට කළ යුතු දේ කුමක් දැ යි ඔබ දන්නෙහි ය. ඔහුගේ මහලු වයසේ දී ලේ වගුරුවා මැරෙන්න සලස්වන්න.”
10 මෙසේ කී පසු දාවිත් රජ මියගියේ ය. ඔහුගේ නගරයේ ඔහු භූමදාන කරන ලදී. 11 දාවිත් රජ තෙම ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකම් කළ කාලය අවුරුදු හතළිහකි. ඔහු හෙබ්‍රොන් නගරයේ හත් අවුරුද්දක් ද ජෙරුසලමෙහි තිස්තුන් අවුරුද්දක් ද රජකම් කෙළේ ය. 12 සලමොන් ද තම පිය දාවිත් රජුගේ සිංහාසනය අරා හිඳගත්තේ ය. ඔහුගේ රාජ්‍යය ද ස්ථීර ලෙස පිහිටුවන ලදී.

අදොනියාගේ මරණය

13 එකල හග්ගිත්ගේ පුත් අදොනියා සලමොන්ගේ මව වන බැත්-ෂෙබා ළඟට ආයේ ය. ”ඔබ එන්නේ සාමදානයෙන් දැ”යි ඈ ඇසූ විට, ඔහු ”සාමදානයෙන් ය”යි උත්තර දුන්නේ ය. 14 තවද ඔහු, ”ඔබට කාරණයක් කියන්න මට තිබේ ය”යි කී විට, ඈ ද, ”කියන්නැ”යි කීවා ය.
15 එවිට ඔහු කතා කරමින්, ”රාජ්‍යය මට ලැබෙන්‍නට තිබුණු බවත්, මා රජකම් කරනු ඇත කියා සියලු ඉශ්රායෙල්වරුන් මා ගැන බලා සිටි බවත් ඔබ දන්නෙහි ය. එහෙත්, රජකම වෙනස් වී මාගේ සහෝදරයාට එය අත් විය. මන්ද, එය ඔහුට සමිඳාණන් වහන්සේගෙන් ලැබුණු බැවිනි. 16 ඉතින් මම එක දෙයක් ඔබෙන්‍ ඉල්ලමි. එය ප්‍රතික්ෂේප නොකරන්නැ”යි කීවේ ය. ඈ ද, ”එය කියන්නැ”යි ඔහුට කීවා ය.
17 ඔහු ද, ”ෂුනම්මීය අබිෂග් නම් කාන්තාව මට බිරිඳ කොට දෙන ලෙස සලමොන් රජු හට කරුණාකර කතා කළ මැනව. රජ තෙම ඔබේ ඉල්ලීම ඉෂ්ට නොකර නොසිටින්නේ ය”යි කීවේ ය.
18 බැත්-ෂෙබා ද, ”හොඳයි, ඔබ උදෙසා මම ඔහුට කතා කරන්නෙමි”යි උත්තර දුන්නා ය.
19 එබැවින් බැත්-ෂෙබා අදොනියා උදෙසා සලමොන් රජුට කතා කරන්නට ඔහු ළඟට ගිය විට, රජ තෙම ද ඈ හමු වීමට නැඟිට, ඈට ආචාර කර තම සිංහාසනය අරා හිඳගත්තේ ය. රජුගේ මවටත් ආසනයක් තබන්නට සැලැස්සුවේ ය. ඈ ඔහුගේ දකුණෙන් හිඳගත්තා ය. 20 එවිට ඈ, ”මම එක සුළු ඉල්ලීමක් ඔබෙන්‍ ඉල්ලමි. එය නොදී නොසිටිය මැනව”යි කී විට, රජ ද, ”මාගේ මෑණියනි, ඉල්ලන්න. මම එය ඔබට නොදී සිටින්නේ නැතැ”යි ඈට කීවේ ය.
21 එවිට ඈ, ”ෂුනම්මීය අබිෂග් ඔබේ සහෝදරයා වන අදොනියාට බිරිඳ කොට දෙනු ලැබේ වා!”යි කීවා ය.
22 සලමොන් උත්තර දෙමින්, ”ඔබ අදොනියා උදෙසා ෂුනම්මීය අබිෂග් නම් කාන්තාව ඉල්ලන්නේ මන් ද? රජකමත් ඔහු උදෙසා ඉල්ලන්න. මන්ද, ඔහු මාගේ වැඩිමහල් සහෝදරයා ය. පූජක අබියාතර් සහ ශෙරුයාගේ පුත් ජෝවාබ් ද ඔහුගේ පැත්ත ගෙන තිබෙන්නේ ය”යි තම මවට කීවේ ය. 23 එවිට සලමොන් රජ ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමින්, ”අදොනියා පැවසූ මේ වචන නිසා ඔහු මරණ පත් නොවන්නේ නම්, දෙවියන් වහන්සේ මට දැඩි ලෙස දඬුවම් දෙන සේක් වා! 24 මා රජකමෙහි පිහිටෙවු, මාගේ පියා වන දාවිත්ගේ සිංහාසනය අරා මා අසුන් ගැන්වූ, තමන් වහන්සේ පොරොන්දු වූ ලෙස මට වංශයක් උපදවා දුන් ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් අදොනියා අද දවසෙහි මරනු ලබනු ඇත කියා දිවුරමි”යි කීවේ ය.
25 මෙසේ කියා සලමොන් රජ ජෙහෝයාදාගේ පුත් බෙනායා යැවී ය. ඔහු අදොනියාට පහර දී මැරුවේ ය.

අබියාතර්ගේ සහ ජෝවාබ්ගේ ඉරණම

26 තවද, සලමොන් රජ අබියාතර් පූජකයාට කතා කොට, ”අනාතොත්හි තිබෙන ඔබේ ම ඉඩමට යන්න. ඔබ මරණයට සුදුස්සෙකි. එහෙත්, ඔබ මාගේ පිය වූ දාවිත් රජු ඉදිරියෙහි දෙවි සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉසුලූ බැවින් ද මාගේ පියා දැරූ සියලු දුක්වල දී ඔබත් දුක් වින්ද බැවින් ද මේ වතාවේ මම ඔබ නොමරමි”යි කී ය. 27 මෙසේ කියා ෂිලෝහි දී ඒලීගේ වංශය ගැන සමිඳාණන් වහන්සේ වදාළ වචනය සම්පූර්ණ වන ලෙස, සලමොන් උන් වහන්සේගේ පූජක ධුරයෙන් අබියාතර් පහකෙළේ ය.
28 ඒ ආරංචිය ජෝවාබ්ට සැළ විය. මන්ද, ජෝවාබ් අබ්සලොම් අනුව නොගිය නමුත්, අදොනියා අනුව ගිය බැවින්, ඔහු සමිඳාණන් වහන්සේගේ මණ්ඩපයට පලා ගොස් පූජාසනයේ කොන්වලින් නෙරා ගිය අං අල්ලාගත්තේ ය. 29 ජෝවාබ් සමිඳාණන් වහන්සේගේ මණ්ඩපයට පලා ගිය බව ද ඔහු පූජාසනය ළඟ සිටින්නේ ය කියා ද සලමොන් රජුට දන්වන ලදී. ඔහු ද ජෝවාබ් වෙත පණිවුඩයක් යවමින්, ”ඔබ කුමක් නිසා පූජාසනයට පලා ගියේ දැ”යි ඇසූ විට, ”මම ඔබට බියෙන් සමිඳාණන් වහන්සේ වෙත පලා ගියෙමි”යි ජෝවාබ් උත්තර දුන්නේ ය. එවිට රජ තෙම, ”ඔබ ගොස් ඔහු මරන්නැ”යි ජෙහෝයාදාගේ පුත් බෙනායා යැවී ය. 30 බෙනායා සමිඳාණන් වහන්සේගේ මණ්ඩපයට ඇතුළු වී, ”පිටතට එන්න කියා රජ තෙම කියන්නේ ය”යි ඔහුට කී ය. ”මම නො එමි, මම මෙතැන ම නසින්නෙමි”යි ඔහු කී විට, බෙනායා ගොස්, ජෝවාබ් එලෙස පිළිතුරු දුන්නේ යයි රජුට කීවේ ය.
31 එවිට රජ බෙනායාට කතා කොට, ”ඔහු කී ලෙස ඔහුට පහර දී මරා භූමදාන කරන්න. එසේ කිරීමෙන් ජෝවාබ් නිකරුණේ වගුළ ලේ මා කෙරෙන් ද මාගේ පියාගේ වංශයෙන් ද ඔබ පහකරනු ඇත. 32 ඔහු තමාට වඩා ධර්මිෂ්ඨ, වඩා යහපත් මිනිසුන් දෙදෙනෙකු එනම්, නේර්ගේ පුත් ඉශ්රායෙල් සේනාවට අධිපති අබ්නේර්ට ද ජෙතෙර්ගේ පුත් ජුදා සේනාවට අධිපති අමාසාට ද පහර දී, මාගේ පිය වූ දාවිත් රජතුමාට නොදැනුවත් ව ඔවුන් කඩුවෙන් මරාදැමූ බැවින්, සමිඳාණන් වහන්සේ ඔහුගේ ලේ ඔහුගේ ම හිස පිට මෙසේ ආපසු පමුණුවනු ඇත. 33 ඔවුන්ගේ ලේ ජෝවාබ්ගේ හිස පිට ද ඔහුගේ පෙළපතේ අයගේ හිස් පිට ද සදහට ම ආපසු පැමිණෙන්නේ ය. එහෙත්, දාවිත් රජ හට ද ඔහුගේ පෙළපතට ද ඔහුගේ රාජ වංශයට ද සිංහාසනයට ද සමිඳාණන් වහන්සේගෙන් සදහට ම සාමදානය වන්නේ ය”යි කීවේ ය.
34 එවිට ජෙහෝයාදාගේ පුත් බෙනායා ගොස් ඔහුට පහර දී, ඔහු මරාදැමූ පසු පාළුකරයෙහි තිබුණු ඔහුගේ ම ගෙයි ඔහු භූමදාන කරනු ලැබී ය. 35 ඉන්පසු රජ තෙම ඔහු වෙනුවට සේනාවේ අධිපති කොට ජෙහෝයාදාගේ පුත් බෙනායා ද අබියාතර් වෙනුවට පූජක ශාදොක් ද පත් කෙළේ ය.

ෂිමෙයිගේ මරණය

36 තවද, රජ තෙම ෂිමෙයිට පණිවුඩයක් යවා ඔහු කැඳවා, ”ඔබ ජෙරුසලමෙහි ගෙයක් සාදාගෙන එහි වාසය කරන්න. එතැනින් කොතැනට වත් නොයන්න. 37 ඔබ පිටතට ගොස් කිද්‍රොන් ඔයෙන් එතෙර වන දවසේ දී ඔබ නසිනවා ම ඇතැ යි දැනගන්න. ඇරත්, ඔබේ මරණය සම්බන්ධ ව ඔබ ම වැරදිකරු වනු ඇතැ”යි ඔහුට කීවේ ය.
38 ෂිමෙයි ද, ”ඒ කීම යහපත, මා ස්වාමීන් වන රජතුමා කී ලෙස ම ඔබේ මෙහෙකරුවා කම කරන්නේ ය”යි රජුට කීවේ ය. එසේ ෂිමෙයි ජෙරුසලමෙහි බොහෝ‍ කාලයක් විසුවේ ය.
39 එහෙත්, තුන් අවුරුද්දකට පසු ෂිමෙයිගේ වහල්ලු දෙදෙනෙක් ගාත් නම් ස්ථානයෙහි රජු වන මයකාගේ පුත් ආකීෂ් වෙත පලා ගියෝ ය. එවිට, ”ඔබේ වහල්ලු ගාත්හි සිටිති”යි ෂිමෙයිට දන්වන ලදී. 40 ෂිමෙයි නැඟිට තම කොටළුවාට සෑදලය යොදා තම වහලුන් සොයන්නට ගාත්හි ආකීෂ් වෙත ගියේ ය. මෙසේ ෂිමෙයි ගොස් ගාත්හි සිටි තම වහලුන් ගෙනාවේ ය. 41 ෂිමෙයි ජෙරුසලමෙන් ගාත් නුවරට ගොස් ආපසු ආ බව සලමොන් රජු හට දන්වන ලදී. 42 එවිට ඔහු ෂිමෙයි වෙත පණිවුඩයක් යවා ඔහු කැඳවා, ඔහුට කතා කොට, ” ‘ඔබ කොහේ නමුත් පිටතට ගිය දවසේ දී නසිනවා ම ඇතැ යි දැනගන්න’ කියා, මා ඔබට සහතික කොට ඔබ සමිඳාණන් වහන්සේගේ නම කියා දිවුරෙවුවා නොවේ ද? ඔබ ද, ‘මා ඇසූ කීම යහපතැ’යි මට කීවෙහි ය. 43 ඉතින්, ඔබ සමිඳාණන් වහන්සේගේ නම කියා කළ දිවුරුමත්, මා ඔබට අණ කළ නියෝගයත් රක්ෂා නොකෙළේ මන්දැ”යි ඔහුගෙන් ඇසී ය. 44 තවදුරටත් රජ තෙම ෂිමෙයිට කතා කරමින්, ”ඔබ මාගේ පිය වූ දාවිත්ට කළ සියලු දුෂ්ටකම් ඔබ ඉතා හොඳින් දන්නෙහි ය. එබැවින්, සමිඳාණන් වහන්සේ ඔබේ හිස පිට ඔබේ දුෂ්ටකම ආපසු හරවන සේක. 45 එහෙත්, සලමොන් රජ තෙම ආශීර්වාද ලබන්නේ ය. දාවිත් රජුගේ සිංහාසනය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සදහට ම පිහිටුවනු ලබන්නේ ය”යි කීවේ ය.
46 මෙසේ රජ තෙම ජෙහෝයාදාගේ පුත් බෙනායාට අණ කළ පසු, ඔහු පිටතට ගොස් ෂිමෙයිට පහර දී මැරුවේ ය. රජකම සලමොන් අත ස්ථීර විය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW