රාජාවලියේ පළමු වන පොත – 18 වන පරිච්ඡේදය –

එලියා සහ ඔබදියා හමුවීම

1 බොහෝ‍ කාලයකට පසු තුන් වන අවුරුද්දේ දී සමිඳාණන් වහන්සේගේ පණිවුඩය එලියා වෙත පැමිණ, ”නුඹ ගොස් ආහබ් ඉදිරියෙහි පෙනී සිටින්න. මම පොළොව පිට වැස්ස එවන්නෙමි”යි කීවේ ය. 2 එලියා ආහබ් ඉදිරියෙහි පෙනී සිටින්නට ගියේ ය. සාගතය සමාරියෙහි බලවත් ව තිබිණි. 3 ආහබ් ගෙදර ප්‍රධානියා වන ඔබදියාට අඬ ගැසුවේ ය. ඔබදියා වනාහි සමිඳාණන් වහන්සේට බොහෝ‍ සෙයින් ගරුබිය ඇති කෙනෙකි. 4 මන්ද, ජෙශෙබෙල් සමිඳාණන් වහන්සේගේ දිවැසිවරුන් මරාදැමූ කල්හි, ඔබදියා දිවැසිවරුන් සියදෙනෙකු රැගෙන ගොස්, පණස පණස බැගින් ඔවුන් ගුහාවල සඟවා ආහාර සහ වතුර දී, ඔවුන් පො‍්ෂ්‍ය කෙළේ ය. 5 ආහබ් ඔබදියාට කතා කොට, ”දේශයෙහි සියලු දිය උල්පත් හා ඔයවල් ළඟට යන්න; සියලු සිවුපාවුන් නැති වන්න නොදී අශ්වයන් හා කොටළුවන් පණපිටින් රක්ෂා කරගන්න පිණිස සමහර විට අපට තෘණ සම්බ වේ ය”යි කීවේ ය. 6 මෙසේ මුළු දේශය පරීක්ෂා කරන පිණිස ඔවුන් එය බෙදාගෙන ආහබ් එක මාර්ගයකින් වෙන ම ගියේ ය; ඔබදියා වෙන් ව වෙන මාර්ගයකින් වෙන ම ගියේ ය.
7 ඔබදියා යන විට එලියා ඔහුට සම්බ වී ය. ඔබදියා ඔහු හැඳිනගෙන මුණින්තළා වී, ”මාගේ ස්වාමීන් වන එලියා ඔබ දැ”යි ඇසී ය.
8 ඔහු පිළිතුරු දෙමින්, ”ඒ මම ය, ‘එලියා මෙහි සිටී ය’යි ඔබ ගොස් ඔබේ ස්වාමියාට කියන්නැ”යි ඔහුට කී ය.
9 එවිට ඔහු මෙසේ කීවේ ය: ”ඔබේ මෙහෙකරු වන මා මරන පිණිස ආහබ්ගේ අතට පාවා දීමට මම මොන පාපයක් කෙළෙම් ද? 10 ඔබ සොයන පිණිස මාගේ ස්වාමියා මිනිසුන් නොහැරිය ජාතියක් වත්, රාජ්‍යයක් වත් නැතැ යි ඔබේ ජීවමාන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි. ‘ඔහු මෙහි නැත’ කියා ඔවුන් කී කල, ඔබ ඔවුන්ට සම්බ නොවූ බවට ඔහු ඒ රාජ්‍යවලිනුත්, ජාතීන්ගෙනුත් දිවුරුම් ගත්තේ ය. 11 එහෙත්, ‘එලියා මෙහි සිටිනු ඇතැ යි ගොස් ඔබේ ස්වාමියාට දන්වන්නැ’යි ඔබ කියන්නෙහි ය. 12 තවද, මා ඔබ වෙතින් අහක් ව ගිය වහාම දේවාත්මභාවය මා නොදන්න තැනකට ඔබ ගෙනයනු ඇත. මා ගොස් ආහබ්ට කී කල, ඔහුට ඔබ සම්බ නොවන නිසා මා මරනු ඇත. එහෙත්, ඔබේ මෙහෙකරු වන මම, බාල වයසේ පටන් සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය පාමින් සිටියෙමි. 13 ජෙශෙබෙල් සමිඳාණන් වහන්සේගේ දිවැසිවරුන් මරාදමන කල, මා කළ දේ එනම්, උන් වහන්සේගේ දිවැසිවරුන්ගෙන් සියදෙනෙකු පණස පණස බැගින් ගුහාවල සඟවා ආහාර පාන දී ඔවුන් පෝෂ්‍ය කළ හැටි මාගේ ස්වාමියාට නොකියන ලද්දේ ද? 14 දැනුත්, ‘එලියා මෙහි සිටින්නේ ය කියා ඔබ ගොස් ඔබේ ස්වාමියාට දන්වන්නැ’යි ඔබ කියන්නෙහි ය. ඔහු මා මරනු ඇත.”
15 එලියා පිළිතුරු දෙමින්, ”මම ඒකාන්තයෙන් ඔහු ඉදිරියෙහි පෙනී සිටින්නෙමි යි මා වැඳුම්පිදුම් කරන සියලු බලැති ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි”යි කීවේ ය.

එලියා සහ ආහබ් රජු හමුවීම

16 එවිට ඔබදියා, ආහබ් රජු සම්බ වන්නට ගොස් ඒ බව ඔහුට දැන්වී ය. ආහබ් එලියා සම්බ වන්නට ගියේ ය. 17 තවද, ආහබ් රජ එලියා දුටු විට, ඔහුට කතා කොට, ”ඉශ්රායෙල් ජනයා කළඹන තැනැත්තේ ඔබ දැ”යි ඔහුගෙන් ඇසී ය.
18 ඔහු උත්තර දෙමින්, ”මා නොව ඔබ සහ ඔබේ පියාගේ වංශය සමිඳාණන් වහන්සේගේ ආඥා අත්හැර, බාල් දේවතාවා පසුපස ගිය කාරණය නිසා ඔබ හැම ඉශ්රායෙල් ජනයා කැළඹුවහු ය. 19 ඉතින්, දැන් පණිවුඩ යවා සියලු ඉශ්රායෙල්වරුන් ද බාල්ගේ දිවැසිවරුන් හාරසිය පණහ ද ජෙශෙබෙල්ගේ මේසයේ වාඩි වී ආහාර වළඳන අෂේරා දේවතාවියගේ දිවැසිවරුන් හාරසියදෙනා ද මා වෙත කර්මෙල්‍ කන්දට රැස් කරන්නැ”යි කී ය.
20 එවිට ආහබ් මුළු ඉශ්රායෙල් ජනයා අතරට පණිවුඩ යවා දිවැසිවරුන් කර්මෙල්‍ කන්දට රැස් කරවී ය.

කර්මෙල්‍ කන්ද මත පූජාව

21 එවිට එලියා මුළු සෙනඟ ළඟට අවුත් කතා කොට, ”තීරණයක් නොගෙන දෙගිඩියාවෙන් ඔබ කොපමණ කල් සිටින්නහු ද? සමිඳාණන් වහන්සේ දෙවියන් වහන්සේ නම්, උන් වහන්සේ අනුව යන්න. බාල් දේවතාවා දෙවියන් වහන්සේ නම්, ඔහු අනුව යන්නැ”යි කීවේ ය. එහෙත්, සෙනඟ ඔහුට කිසි උත්තරයක් දුන්නේ නැත. 22 එවිට එලියා සෙනඟට කතා කොට, ”සමිඳාණන් වහන්සේගේ දිවැසිවරයෙකු ව, ඉතිරි ව සිටින්නේ මම පමණකි. එහෙත්, බාල් දේවතාවාගේ දිවැසිවරු හාරසිය පණස්දෙනෙක් සිටිති. 23 එබැවින් අපට ගොනුන් දෙදෙනෙකු දෙත් වා! ඔව්හු එක ගොනෙකු තෝරාගෙන කෑලිවලට කපා, දර පිට තබා යටින් ගිනි නොතබත් වා! මමත් අනික් ගොනා පිළියෙළ කොට දර පිට තබා, යටින් ගිනි නොතබන්නෙමි. 24 ඔබ හැම ඔබේ දෙවියන්ගේ නාමය කියා යාච්ඤා කරන්න. මමත් සමිඳාණන් වහන්සේගේ නාමය කියා යාච්ඤා කරන්නෙමි. එවිට ගිනි එවීමෙන් උත්තර දෙන දෙවියන් වහන්සේ ම සැබෑ දෙවියන් වහන්සේ වන සේක් වා!”යි කීවේ ය. මුළු සෙනඟ උත්තර දෙමින්, ”ඒ කීම යහපතැ”යි කීවෝ‍ ය.
25 එලියා බාල් දේවතාවාගේ දිවැසිවරුන්ට කතා කොට, ”ඔබ හැම බොහෝ දෙනෙකු හෙයින්, පළමුකොට ගොනෙකු තෝරාගෙන පිළියෙළ කර, ඔබේ දෙවියන්ගේ නාමය කියා යාච්ඤා කරන්න. එහෙත්, යටින් ගිනි නොතබන්නැ”යි කීවේ ය.
26 ඔව්හු තමන්ට ලැබුණු ගොනා රැගෙන පිළියෙළ කොට, උදය පටන් ඉර මුදුන් වේලාව දක්වා බාල් දේවතාවාගේ නාමයෙන් යාච්ඤා කරමින්, ”අහෝ බාල් දේවතාවෙනි” කියා කෑ ගසමින්, සාදා තිබුණු පූජාසනය වටේට නට නටා ඇවිද්දො‍් ය. එහෙත්, කිසි හඬක් වත්, උත්තර දුන් කිසිවෙක් වත් නො වූ හ.
27 ඉර මුදුන් වේලාවේ එලියා ඔවුන්ට කවටකම් කරමින්, ”ශබ්ද නඟා මොරගසන්න, මන්ද, ඔහු දෙවියෙකි. ඔහු කල්පනා කරමින් හෝ බැහැර ගොසින් හෝ ගමනක් යමින් හෝ ඇත. සමහර විට ඔහු නිදාගෙන සිටියි. ඒ නිසා පුබුදු වන්න උවමනා ය”යි කීවේ ය. 28 ඔව්හු මහත් හඬින් මොරගසා තමන්ගේ සිරිත අනුව ලේ ඇඟේ ගලා යන තුරු පිහිවලිනුත්, හෙල්ලවලිනුත් තමන්ගේ ශරීර කපාගත්හ. 29 මද්දහන පසු වී සවස යාගය ඔප්පු කරන වේලාව දක්වා ඔව්හු ඔල්මාදයෙන් දොඩවමින් බෙරිහන් දුන්හ. එහෙත්, කිසි හඬක් වත් උත්තර දුන් කිසිවෙක් වත්, සැලකූ කෙනෙක් වත් නො වූ හ.
30 එවිට එලියා, ”මා ළඟට එන්නැ”යි සෙනඟට කී ය. මුළු සෙනඟ ඔහු ළඟට ආවෝ‍ ය. ඔහු වනාහි කඩා දමා තිබූ සමිඳාණන් වහන්සේගේ පූජාසනය යළි සාදා, 31 ‘නුඹේ නාමය ඉශ්රායෙල් වන්නේ ය’ යන සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ලැබූ ජාකොබ්ගේ පුත්‍රයන්ගේ ගෝත්‍රවල ගණන ලෙස ගල් දොළොසක් රැගෙන 32 උන් වහන්සේගේ නාමයෙන් පූජාසනයක් ගොඩනැඟී ය. ඉන්පසු ඒ පූජාසනය වටේට වතුර ලීටර් දහහතරක් පමණ අල්ලන තරම් වූ අගලක් කපා, 33 දර පිළිවෙළින් තබා, ගොනා කැබෙලි කොට කපා දර පිට තැබී ය. තවද, ”වතුර සැළි සතරක් පුරවා දවන යාග පූජාව පිටත්, දර පිටත් වත්කරන්නැ”යි ඔහු කීවේ ය. 34 දෙ වන‍ වරත්, ”එසේ ම කරන්නැ”යි ඔහු කී විට ඔව්හු දෙ වන‍ වරත් එසේ කළෝ ය. තුන් වන වරත්, ”එසේ ම කරන්නැ”යි ඔහු කී විට, ඔව්හු තුන් වන වරත් එසේ කළෝ ය. 35 වතුර පූජාසනය වටේට ගලා ගොස්, අගල ද වතුරෙන් පිරුණේ ය.
36 සවස යාගය ඔප්පු කරන වේලාවේ දිවැසිවර එලියා ළං වී කතා කොට, ”ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ඉශ්රායෙල්ගේ ද දෙවි සමිඳාණන් වහන්ස ඔබ ඉශ්රායෙල්හි දෙවියන් වහන්සේ බව ද මා ඔබේ සේවකයා බව ද මා මේ දෙය කෙළේ, ඔබේ වචනය ලෙස බව ද අද ඔවුන්ට දැනගන්නට ලැබේ වා! 37 සමිඳාණන් වහන්ස මට උත්තර දුන මැනව. ස්වාමීන් වන ඔබ දෙවියන් වහන්සේ බවත්, මේ සෙනඟගේ සිත් නැවත හරවාගත්තේ ඔබ ම බවත් මොවුන් දැනගන්න පිණිස මට උත්තර දුන මැනව”යි කී ය.
38 එවිට සමිඳාණන් වහන්සේ වෙතින් ගිනි බැස පූජාවත්, දරත්, ගලුත්, ධූලිත් දවා අගලේ වතුරත් වියළවා දැමී ය. 39 මුළු සෙනඟ එය දැක මුණින්තළා වැටී, ”සමිඳාණන් වහන්සේ ම දෙවියන් වහන්සේ ය; සමිඳාණන් වහන්සේ ම දෙවියන් වහන්සේ ය”යි කීවෝ‍ ය.
40 එලියා ඔවුන්ට කතා කොට, ”බාල්ගේ දිවැසිවරුන්ගෙන් එක් කෙනෙකුට වත් ගැළවී යන්න නොදී ඔවුන් අල්ලාගන්නැ”යි කී ය. ඔවුන් අල්ලාගත් පසු, එලියා ඔවුන් කීෂොන් ඔය ළඟට ගෙන ගොස් එහි දී ඔවුන් මැරී ය.

නියඟය කෙළවර වීම

41 එලියා ආහබ්ට කතා කොට, ”හැරී ගොස් කන්න, බොන්න. මන්ද, මහා වර්ෂා හඬක් ඇසේ ය”යි කීවේ ය. 42 ආහබ් කන බොන පිණිස හැරී ගියේ ය. එලියා කර්මෙල්‍ කන්ද මුදුනට නැඟී, බිම වැටී දණහිස් දෙක අතරේ මුහුණ තබාගෙන, 43 ”ඔබ ගොස් මුහුද දෙස බලන්නැ”යි තම වැඩකාරයාට කී ය. ඔහු ගොස් බලා අවුත්, ”කිසිවක් නැතැ”යි කී විට, ”නැවත සත්වරක් යන්නැ”යි ඔහු කීවේ ය. 44 සත් වන වර ඔහු කතා කොට, ”මිනිසෙකුගේ අතක් වැනි කුඩා වලාකුළක් මුහුදින් නැඟී එන්නේ ය”යි කීවේ ය. ඔහු ද, ” ‘වැස්ස ඔබ නොවළක්වන පිණිස ඔබේ රථය සූදානම් කරගෙන ගිය මැනව’ කියා ඔබ ගොස් ආහබ්ට කියන්නැ”යි දැන්වී ය.
45 ඉක්බිති මඳ වේලාවකින් අහස වලාකුළුවලින් ද සුළඟින් ද අඳුරු විය. මහත් වැස්සක් ද ඇති විය. ආහබ් රථයට නැඟී ජෙශ්‍රෙයෙල් නම් නගරයට ගියේ ය. 46 සමිඳාණන් වහන්සේගේ බලය එලියා පිට පැමිණි නිසා, ඔහු සිය ඉඟටිය වටා වූ වස්ත්‍රය අල්ලාගෙන ආහබ්ට පෙරටු ව ජෙශ්‍රෙයෙල් නගරයට ඇතුළු වන තැන දක්වා දිවී ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW