යෙසායා – 8 වන පරිච්ඡේදය –

සිරියාවේ විනාශය දැන්වීම

1 සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක; ”නුඹ මහත් පුවරුවක් ගෙන එහි ලොකු අකුරෙන් ‘කොල්ලය ශීඝ්‍රයෙන් සිදුවේ’ යන අරුත ඇති ‘මහෙර්-ෂාලාල්-හාෂ්-බශ්’ යන වචන ලියන්න. 2 විශ්වාසවන්ත සාක්ෂිකාරයන් වන උරියා නමැති පූජකයාත් ජෙබෙරෙකියාගේ පුත්‍ර වූ සෙකරියාත් සාක්ෂි පිණිස ගන්න.”
3 ටික දිනකට පසු මම මාගේ භාර්යාව සමඟ සහවාසයේ යෙදුණෙමි. ඈ පිළිසිඳගෙන දරුවෙකු බිහි කළා ය. සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: ”ඔහුට, ‘මහෙර්-ෂාලාල්-හාෂ්-බශ්’ කියා නම් තබන්න. 4 මන්ද, ‘අම්මේ, තාත්තේ’ කියා කියන්න දරුවාට හැකි වන්න පෙර දමස්කයේ සකල වස්තුවත්, සමාරියේ මුළු කොල්ලයත් අසිරියාවේ රජු විසින් ගෙනයනු ලබන්නේ ය.”

අසිරියා රජුගේ පැමිණීම

5 සමිඳාණන් වහන්සේ යළිත් මට කතා කොට මෙසේ වදාළ සේක: 6 ”මේ සෙනඟ හෙමින් ගලා බැස යන ෂිලොවාහි දිය ඇල එපා කොට, රෙශීන් ද පෙකා රජු ද ඉදිරියේ වෙවුළන බැවින්, 7 ස්වාමීන් වන මම අසිරියාවේ රජු ද ඔහුගේ මුළු සේනාව ද ජුදා රටට පහර දෙන පිණිස ගෙනෙන්නෙමි. යුප්‍රටීස් ගඟේ ඉවුරු තලා යන ජලගැලීම සේ ඔවුන් ඉදිරියට එනු ඇත. 8 ඔව්හු ගෙල දක්වා ඉහළට නැඟ සෑම තැනම පැතිරී යන ජල ගැල්මක් සේ ජුදා පුරා පැතිරී යන්නෝ ය.”
දෙවියන් වහන්සේ අප සමඟ ය. විහිදී ඇති පියාපත්වලින් උන් වහන්සේ රට ආරක්ෂා කරන සේක.
9 ජාතීනි, බියෙන් ඇලළී යන්න; පොළොවේ දුර බැහැර ප්‍රදේශවල ජනයෙනි, සවන් දෙන්න; සටනට සැරසෙන්න; එහෙත්, භයපත් වන්න. එසේ ය, සැරසෙන්න. එහෙත්, භයපත් වන්න. 10 එක් ව මන්ත්‍රණය කරන්න; එහෙත්, ඒවා නිෂ්ඵල වන්නේ ය. ඇති තරම් කතා කරන්න. එහෙත්, ඒවා නිෂ්ඵල වන්නේ ය. මන්ද, දෙවියන් වහන්සේ අප සමඟ ය.

දිවැසිවරයාට අනතුරු ඇඟවීම

11 සෙනඟ යන මාර්ගයෙහි නොයන ලෙස සමිඳාණන් වහන්සේ තමන් මහත් බලයෙන් මට දැනුමැතිකම් දෙමින් මෙසේ වදාළ සේක: 12 ”සෙනඟ කුමන්ත්‍රණය යි කියන සියල්ලට නුඹ කුමන්ත්‍රණය යි නොකියන්න. ඔවුන් භය වන දේට භය නොවන්න. 13 සියලු බලැති සමිඳාණන් වහන්සේ වන මා ශුද්ධ තැනැන් වහන්සේ බව මතක තබාගන්න. නුඹ භය විය යුත්තේ මට පමණකි. 14 මම ශුද්ධස්ථානයකට ද මිනිසුන්ගේ පැකිළීමට හේතු වන ගලකට ද සමාන වෙමි; ජුදා හා ඉශ්රායෙල් රාජ්‍යවල සෙනඟ ද ජෙරුසලමේ වැසියන් ද අසු කරගන්න මලපතක් හා සමාන වෙමි. 15 බොහෝ දෙනෙක් පැකිළී වැටෙති. ඔව්හු වැටී පොඩි වී යති. ඔවුන් මලපතට අසු වනු ඇත.”

දිවැසිවර යෙසායා ගො‍්ලයන් ඇමතීම

16 මාගේ ගෝලයන් දෙවියන් වහන්සේ මට දුන් පණිවුඩය ආරක්ෂා කොට සිතේ තැන්පත් කරගත යුතු ය. 17 සමිඳාණන් වහන්සේ සිය සෙනඟ වෙතින් සැඟවී සිටින නමුත්, මම උන් වහන්සේ අදහා මාගේ බලාපොරොත්තුව උන් වහන්සේ කෙරෙහි තබමි.
18 සමිඳාණන් වහන්සේ මට දුන් දරුවන් සමඟ මම මෙහි සිටිමි. සියොන් කන්දේ සිය සිහසුන ඇති සියලු බලැති සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයා හට ජීවමාන පණිවුඩ ලෙස අප එවා ඇත.
19 පල්හෑලි දොඩන, තොල් මතුරන අනවිනකාරයන්ගෙන් ද දෛවඥායන්ගෙන් ද ශාස්ත්‍ර අසන්න කියා සෙනඟ නුඹලාට කියනු ඇත. ”ජීවතුන් උදෙසා මළවුන්ගෙන් ද දෙවි දේවතාවන්ගෙන් ද විචාරන්න යුතු ය”යි ඔවුන් කියනු ඇත.
20 එහෙත්, නුඹලා මෙසේ පිළිතුරු දිය යුතු ය: ”සමිඳාණන් වහන්සේ නුඹලාට උගන්වන දේට සවන් දෙන්න, අනවිනකාරයන්ට සවන් නොදෙන්න. ඔවුන් නුඹලාට කියන දෙයින් කිසි යහපතක් සිදු නොවේ.”

කරදර සහිත කාලයක්

21 සෙනඟ අමාරුවට වැටී සාගින්න නිසා රටෙහි ඔබමොබ ඉබාගාතේ යනු ඇත. ඔව්හු සාගින්නෙන් හා කෝපයෙන් තමන්ගේ රජුට හා තමන්ගේ දෙවියන්ට දෙස් කියති. ඔව්හු අහස දෙස බැලුවත්, 22 පොළොව දෙස බැලුවත් විපත හා අන්ධකාරය මිස වෙන කිසිවක් නොදකිති. ඒ භයානක අන්ධකාරයට ඔව්හු පන්නා දමනු ලබන්නෝ ය. මේ කරදර සහිත කාලයෙන් බේරෙන්නට මඟක් ඔවුන්ට කිසිසේත් ඇති නොවේ.

Suba Asna - සුබ අස්න

FREE
VIEW