යෙසායා – 61 වන පරිච්ඡේදය –

ගැළවීමේ ශුභ ආරංචිය

1 මහෝත්තම දෙවි සමිඳුන්ගේ ආත්මානුභාවය මා කෙරෙහි පිහිටා ඇත.
දිළිඳුන්ට සුබ අස්න දෙසීමට ද බිඳුණු සිත් ඇත්තන්ට සුව සෙත දීමට ද වහලුන්ට මිදීම දානය කරන්න ද සිරකරුවන්ට නිදහස දන්වන්න ද එතුමාණෝ මා ආලේප කළ සේක.
2 සමිඳුන්ගේ කරුණාවේ දවස, සතුරන්ට දඬුවම් දීමේ දවස පළ කරන පිණිස ද වැලපෙන සියල්ලන් සනසන පිණිස ද එතුමා මා ආලේප කළ සේක.
3 සියොන්හි දුක් වන සෑම දෙනාට අළු වෙනුවට මල්මාලා ද දුක් කඳුළු වෙනුවට ප්‍රීතිය නමැති තෛලය ද කලකිරී සිටින්නන්ට පැසසුම් නමැති වස්ත්‍රය ද ප්‍රදානය කරන පිණිස එතුමාණෝ මා ආලේප කළ සේක.
ඔවුන්ගේ දැහැමිතාව සමිඳුන් රෝපණය කළ කිහිරි ගස් මෙන් ස්ථිර යයි කියනු ලැබේ.
එයින් එතුමන්ට ම මහිමය හිමි වන්නේ ය.
4 ඔව්හු පැරණි නටබුන් ගොඩනඟති;
නැති නාස්ති වූ තැන් අලුත්වැඩියා කරති;
පරම්පරා ගණනාවක් තුළ නටබුන් ව පාළු ව තිබුණ නගර ප්‍රතිසංස්කරණය කරති.
5 විදේශිකයන් නුඹලාගේ බැටළු රැළවල් පෝෂණය කරනු ඇත.
ඔව්හු නුඹලාගේ ගොවියෝ ද මිදි වතු වවන්නෝ ද වන්නෝ ය.
6 එහෙත් නුඹලා, ‘සමිඳුන්ගේ පූජකයෝ ය’යි කියනු ලබන්නහු ය.
මිනිසුන් නුඹලාට, ‘අපේ දේව සේවකයෝ ය’යි කියනු ඇත.
නුඹලා ජාතීන්ගේ සම්පත් භුක්ති විඳ, ඔවුන්ගේ වස්තු හිමි කරගනු ඇත.
7 නුඹලාගේ ලජ්ජාව වෙනුවට නුඹලා දෙගුණයක් ගෞරවය ලබන්නහු ය.
නින්දාව වෙනුවට ලැබී ඇති කොටස ගැන ප්‍රීති වන්නහු ය.
නුඹලාගේ දේශයෙහි නුඹලා දෙපංගුවක් භුක්ති විඳින්නහු ය.
නුඹලාට සදා ප්‍රීතිය හිමි වන්නේ ය.
8 සමිඳාණෝ මෙසේ වදාරන සේක:
”මම යුක්තියට ප්‍රිය කරමි; අදමිටුකමටත්, කොල්ලකෑමටත් ද්වේෂ කරමි.
එබැවින් මම අවංක ලෙස ඔවුන්ට විපාක දෙමි.
සදාකාල ගිවිසුමක් ද ඔවුන් සමඟ කරගන්නෙමි.
9 ඔවුන්ගේ වංශය ජාතීන් අතරේ ද ඔවුන්ගේ පරම්පරාව ජනයන් අතර ද ප්‍රසිද්ධ වන්නේ ය.
ඔවුන් හැඳිනගන්න සියල්ලෝ ඔවුන් සමිඳුන්ගේ ආසිරි ලත් සෙනඟ බව දැනගන්නෝ ය.”
10 මම සමිඳුන් කෙරෙහි බොහෝ ප්‍රීති වන්නෙමි;
මාගේ දෙවිඳුන් කෙරෙහි මම ප්‍රීතියෙන් පිනා යන්නෙමි.
මනාලයෙකු මල් මාලාවක් දමාගන්නාක් මෙන් ද මනාලිය ඇගේ ආභරණ පැළඳගන්නාක් මෙන් ද එතුමාණෝ ගැළවීම නමැති වස්ත්‍රය මට පළඳවන සේක. ධර්මිෂ්ඨකම නමැති සළුව මට හඳවන සේක.
11 පොළොව අලුත් පැළෑටි උපදවන්නාක් මෙන් ද උයන එහි වපුළ දේ ලියලවන්නාක් මෙන් ද මහෝත්තම සමිඳුන් වන දෙවිඳාණෝ ධර්මිෂ්ඨකම හා ප්‍රශංසාව සියලු ජාතීන් ඉදිරියෙහි හට ගන්වන සේක.

Suba Asna - සුබ අස්න

FREE
VIEW