යෙසායා – 58 වන පරිච්ඡේදය –

සැබෑ උපවාසය

1 සමිඳාණෝ මෙසේ වදාරන සේක:
”නොනැවතී මහ හඬින් මොරගසා, හොරණෑවක් මෙන් නුඹේ හඬ නඟා, මාගේ ඉශ්රායෙල් සෙනඟට ද ජාකොබ්ගේ වංශයට ද ඔවුන්ගේ වැරදි හා පව් දන්වන්න.
2 ඔව්හු දැහැමි ක්‍රියා කරන, දෙවිඳුන්ගේ නියෝග අත්නෑර සිටින ජාතියක් යයි සිතාගෙන, දවස් පතා මා සොයති;
මාගේ මාර්ගයන් දැනගන්න ප්‍රසන්න වෙති;
සාධාරණ විනිශ්චයයන් මාගෙන් ඉල්ලති;
දෙවිඳුන් වෙත ළඟා වීමට ප්‍රසන්න වෙති.”
3 ”සමිඳුන් සලකන්නේ නැත්නම්, අප උපවාස කරන්නේ කුමට ද?
එතුමන් සිතට ගන්නේ නැත්නම්, අප වද විඳින්නේ කුමට දැ”යි සෙනඟ අසති.
සමිඳාණෝ ඔවුන්ට මෙසේ වදාරන සේක:
”නුඹලා උපවාසයේ යෙදී සිටින අතර නුඹලාගේ ම සැප පහසුව සොයමින් නුඹලාගේ සේවකයන්ට හිරිහැර කරන්නහු ය.
4 නුඹලා උපවාසයේ යෙදී සිටින අතර, විවාදයටත්, තරඟයටත්, දුෂ්ට පහර දීමටත් පෙළඹෙන්නහු ය.
මෙලෙස මෙදින උපවාස කිරීමෙන් නුඹලාගේ යැදුම් සගයට නොනැඟේ.
5 නුඹලා උපවාස කරන දවසේ දී නුඹලාට ම වද වේදනා කරගෙන පන් ගසක් මෙන් හිස නමාගෙන,
ගෝණි රෙදි සහ අළු අතුරා ඒ පිට හිඳගන්නහු ය.
උපවාසයෙන් නුඹලා අදහස් කරන්නේ එය ද?
එවැනි උපවාස දවසක් සමිඳුන්ට ප්‍රසන්න යයි නුඹලා සිතන්නහු ද?
‍ 6 මට ප්‍රියමනාප උපවාසය මෙය වේ, දුෂ්ටකමේ විලංගු මුදා හැර, අයුක්තියේ බැඳුම් ලිහා හැර, පීඩිතයන් නිදහස් කර හැර, සියලු වියගස් බිඳදැමීම ය.
7 සාගින්නෙන් පෙළෙන අය සමඟ ආහාර බෙදාගැනීම ද ගේදොර නැති අසරණයන් ඔබේ ගෙදරට කැඳවීම ද ඇඳුම් නැති අය දුටු විට ඇඳුම් සපයා දීම ද සැබෑ මිතුරන් මඟ නොහැර යුතුකම් ඉටු කිරීම ද නියම උපවාසය වේ.
8 එවිට අරුණෝදය මෙන් මාගේ එළිය උදා වී, ඉක්මනින් නුඹලාට සුවසෙත ගෙන දේවි.
ඔබේ දැහැමි සිරිය ඔබ පෙරටුවෙන් ද සමිඳුන්ගේ තෙද සිරිය ඔබ පසුපස ද ඔබේ සුරැකියාව සඳහා ගමන් ගන්නේ ය.
9 එකල නුඹලා යාච්ඤා කරන විට මම පිළිතුරු දෙන්නෙමි.
මට නුඹලා හඬ නඟන විට ‘මම මෙහි ය’යි පිළිතුරු දෙන්නෙමි.
නුඹලා අනුන්ට කරන බලහත්කාරකම් ද අනුන් හෙළා දැකීම ද නපුරු ලෙස කතා කිරීම ද නුඹලා වෙතින් පහ කරන්නහු නම්,
10 සාගිනි ඇත්තාට අනුකම්පා කර, අසරණයන් තෘප්තියට පමුණුවන්නහු නම්, නුඹේ අඳුර එළිය වන්නේ ය;
ඝනාන්ධකාරය මද්දහන මෙන් එළිය වන්නේ ය.
11 මම නිතර ම නුඹලාට මඟපෙන්වා, යහපත් දෙයින් තෘප්තියට පමුණුවා සනීප ශක්තිය නුඹලාට ගෙන දෙන්නෙමි.
නුඹලා ජලයෙන් සාරවත් උයනක් මෙන් ද දිය නොසිඳී යන උල්පතක් මෙන් ද වන්නහු ය.
12 නුඹලාගේ බොහෝ කලක සිට පැවත එන නටබුන් ව තිබුණු තැන් ගොඩනඟනු ලබන්නේ ය.
පැරණි අත්තිවාරම් පිට ගොඩනැඟිලි නැවත ඉදි කරනු ලබන්නේ ය.
කැඩුම්බිඳුම් සෑදූ, වාසය පිණිස නටබුන් නැවත අලුත්වැඩියා කළ අය වශයෙන් නුඹලා හඳුන්වනු ලබන්නහු ය.”

සබත් දවස පැවැත්වීමේ ප්‍රතිඵල

13 සමිඳාණෝ මෙසේ වදාරන සේක:
”නුඹලා සබත් දවස ශුද්ධ ලෙස පවත්වා, ඒ දවසේ දී නුඹගේ කැමැත්ත නොකර, සමිඳුන්ගේ සබත ප්‍රිය වන ගෞරවණීය දවසක් යයි කියන්නහු නම්, ඒ දවසේ දී ගමන් බිමන් නොගොස්, ගනුදෙනු නොකර, අල්ලාප සල්ලාප නොදොඩා ඒ දවසට ගෞරව කරන්නහු නම්,
14 මට සේවය කිරීමෙන් ඇති වන ප්‍රීතිය නුඹලා භුක්ති විඳින්නහු ය.
ලොවෙහි උසස් ම ගෞරවය නුඹලාට අත් කර දෙන්නෙමි.
නුඹලාගේ පිය වූ ජාකොබ්ට උරුමයක් වශයෙන් දුන් දේශය නුඹලා භුක්ති විඳින්නහු ය.
මෙසේ වදාරන්නේ සමිඳුන් වන මම ය.”

Suba Asna - සුබ අස්න

FREE
VIEW