යෙසායා – 52 වන පරිච්ඡේදය –

ජෙරුසලම මුදාගැනීම

1 එම්බා සියොන්, පිබිදෙන්න, පිබිදෙන්න, ශක්තිමත් වන්න, ශුද්ධ නුවර වන ජෙරුසලම, ඔබේ අලංකාර වස්ත්‍ර පැළඳගන්න. මින්පසු අචර්මඡේදිතයෙක් වත්, අපවිත්‍ර වූවෙක් වත්, මේ නගරයට ඇතුළු නොවන්නේ ය.
2 ජෙරුසලම, ඔබ ධූලි ගසාදමා නැඟිට සිටින්න, වහලියක වූ සියොන් පුරඟන, ඔබේ ගෙල වටා ඇති විලංගු ගලවාදමන්න.
3 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ”නුඹලා වහල්කමට විකුණනු ලැබුවේ මුදල් වන්දියකින් නොවේ; එසේ ම නුඹලා මුදනු ලබන්නේත් මුදල් වන්දියකින් නොවේ. 4 මුල දී නුඹලා මිසරයේ විදේශී ව සිටින්න ගියහු ය. පසු ව අසිරියාව කිසි හේතුවක් නැති ව නුඹලාට පීඩා කෙළේ ය. 5 දැන් මෙහි බබිලෝනියෙහි මට කුමක් දක්නට ලැබේ ද? කිසි හේතුවක් නැති ව මාගේ සෙනඟ මෙහි වහල් ව සිටිති. ඔවුන්ගේ පාලකයෝ ජය හඬ නඟති; දවස දෙවේලේ මාගේ නාමයට අපහාස කරති. 6 එබැවින්, මාගේ සෙනඟ මාගේ නාමය දැනගනු ඇත. ඒ දවසේ දී කතා කරන්නේ මා බවත්, මා දෙවියන් වහන්සේ බවත් ඔවුන් දැනගනු ඇත.”

සියොන්ට සුබ ආරංචි

7 සුබ ආරංචි ගෙන එන, සාමය ප්‍රකාශ කරන, යහපත ගැන සුබසුන් පළ කරන ගැළවීම ගැන ලොවට දන්වන, ”නුඹේ දෙවි තුමාණෝ රජකම් කරන සේකැ”යි සියොනට කියන, කඳු මුඳුන්හි පෙනෙන දූතයාගේ පාද කොපමණ අලංකාර වන්නේ ද?
8 නගරය මුර කරන්නන්, හඬ නඟා එක් ව ගී කියනු ඇත.
සියොනට සමිඳාණන් වඩින බව ඔවුන් සියැසින් දකිනු ඇත.
9 ජෙරුසලමේ නටබුන්, එක් ව ගී ගයන්න;
ඝෝෂා කරමින් හඬ නඟන්න.
සමිඳාණෝ සිය සෙනඟ සැනසූ සේක.
10 සමිඳාණෝ ජාතීන් ඉදිරියේ සියොනට ශුද්ධ බලය පෑ සේක.
අපේ දෙවිඳුන්ගේ ගැළවීම ලොවේ සීමාන්තයෝ දකිති.
11 යන්න, බබිලෝනියෙන් පිට වී යන්න, අපිරිසිදු දේකට අත නොපාන්න.
නොනැවතී පිට වී යන්න, සමිඳුන්ගේ භාණ්ඩ උසුලාගෙන යන නුඹලා පිරිසිදු වන්න.
12 හදිසියෙන් පිට වී යන්න නුඹලාට සිදු නොවේ;
බේරී පලා යන්න නුඹලාට සිදු නොවේ;
සමිඳාණෝ නුඹලාට පෙරටු ව යන සේක.
සමිඳාණෝ නුඹලා පසුපස්සෙන් එන සේක.

දුක් උසුලන සේවකයාණෝ

13 බලන්න, මාගේ සේවකයාණන්ට ජය අත් වේ.
එතුමාණෝ, උසස් වී, උතුම් වී, අත්‍යුත්කෘෂ්ට වෙති.
14 පෙනුමෙන් එතුමාණෝ බොහෝ සේ අවලක්ෂණ ය.
මිනිසෙකුට සමානකමක් නැත.
මිනිස් රූපය නැති වී යන පමණට විරූප වීමෙන් එය සියල්ලන්ට ම පුදුමයක් වී ඇත.
15 දැන් නම්, ජාතීහු එතුමාණන් දැක මවිතයට පත් වෙති.
රජවරු විස්මයෙන් විස්මයට පත් ව නිහඬ ව සිටිති.
ඉහත දී ඔවුන්ට නොදැන්වූ දෙයක් දැන් ඔව්හු දනිති.
කිසි කලක නොඇසූ දෙයක් දැන් ඔව්හු තේරුම්ගනිති.

Suba Asna - සුබ අස්න

FREE
VIEW