යෙසායා – 45 වන පරිච්ඡේදය –

සයිරස් රජකමට පත් කිරීම

1 සමිඳුන්ගේ අභිෂේක ලත් රජ්ජුරුවෝ සයිරස් ය.
ජාතීන් යටත් කිරීමටත්, රජවරුන්ගේ බලය බිඳලීමටත්, සමිඳාණෝ ඔහු සහායට ගත් සේක.
නැවත නොවැසෙන පිණිස නගරවල දොරටු සමිඳාණෝ විවෘත ව තබන සේක.
එතුමාණෝ සයිරස්ට මෙසේ වදාරන සේක:
2 ”මම නුඹට පෙරටුවෙන් ගොස් කඳු සමතලා කොට, ලෝකඩ දොරටු බිඳදමා, යකඩ අගුල් කඩාදමන්නෙමි.
3 නුඹේ නම කියා කැඳවන්නේ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳුන් වන මා බව නුඹ දැනගන්න පිණිස සඟවා ඇති වස්තු ද රහස් තැන්වල නිධාන ද නුඹට දෙන්නෙමි.
4 මා තෝරාගත් සෙනඟක් වන මාගේ සේවක ඉශ්රායෙල්වරුන්ට උපකාර කරන පිණිස මම නුඹ පත් කෙළෙමි.
5 මම සමිඳාණන් වහන්සේ ය;
අන් කෙනෙක් නැත.
මා හැර අන් දෙවි කෙනෙක් නැත.
නුඹ මා නොදන්න නමුත්, මම නුඹ ශක්තිමත් කරන්නෙමි.
6 මා එසේ කරන්නේ, මා හැර අන් දෙවි කෙනෙකු නැති බව නැගෙනහිර සිට බස්නාහිර දක්වා සිටින සියලු දෙනා දැනගන්න පිණිස ය.
මම සමිඳාණන් වහන්සේ ය, මා හැර අන් දෙවි කෙනෙක් නැත.
7 ආලෝකය දෙන්නේ මම ය;
අන්ධකාරය දෙන්නේත් මම ය;
සැපත දෙන්නේ මම ය;
විපත දෙන්නේත් මම ය.
මේ සියල්ල කරන්නේ ස්වාමීන් වන මම ය.
8 එම්බා අහස් තලය!
වැසි වලාකුළක් මෙන් දැහැමිකම වස්වන්න.
ගැළවීම හටගන්න පිණිස පොළොව විවර වේ වා!
විමුක්තියේ මල් ද එහි පිබිදේ වා! ස්වාමීන් වන මම මෙය සිදු වන්න සලස්වන්නෙමි.”

මැවීමේ හා ඉතිහාසයේ සමිඳාණන් වහන්සේ

9 මැවුම්කරුන් සමඟ වාද කරන්නාට වන විපතක මහත!
කුඹල්කරුවා සමඟ බඳුන වාද කරයි ද?
නුඹ කරන්නේ කුමක් ද කියමින්, මැටි පිඬ එය අඹන්නාගෙන් විමසමින් පොරට සිට ඔහුගේ දස්කම ගැන චෝදනා කරයි ද?
10 නුඹ ජනිත කරන්නේ කුමක් ද කියා පියාට කියන දරුවෙකුට ද නුඹ බිහි කරන්නේ කුමක් ද කියා මවට කියන බිළිඳෙකුට ද වන විපතක මහත!
11 ඉශ්රායෙල්වරුන්ගේ මැවුම්කාර සුවිශුද්ධ සමිඳාණෝ මෙසේ වදාරන සේක:
”මාගේ දරුවන් ගැන මාගෙන් ප්‍රශ්න කරන්න වත්,
මා කළ යුතු දේ ගැන මට කියා දෙන්න වත් නුඹලාට අයිතියක් කොහෙන් ද?
12 පොළොව නිර්මාණය කෙළේ මම ය;
ඒ පිට මිනිසුන් මැව්වේ මම ය;
අහස විදහා පෑවේ මම ය;
ආකාශ වස්තූන් හසුරුවන්නේත් මම ය,
13 මාගේ අරමුණ ඉටු කරන පිණිසත්, සියල්ල මනා සේ සකස් කරන පිණිසත් මම සයිරස් උනන්දු කරවීමි.
ඔහු යන මාර්ගය සමතලා කරන්නෙමි;
මගේ නගරය ඔහු ගොඩනඟා වස්තුවක් හෝ අල්ලසක් හෝ නොගෙන වහල් වූවන් මුදාගෙන එනු ඇත.”

ජාතීහු සමිඳුන් පිළිගනිති

14 සමිඳාණෝ ඉශ්රායෙල්වරුන්ට මෙසේ වදාරන සේක:
”මිසරයේ හා එතියෝපියාවේ වස්තු සම්භාරය නුඹලාට අයිති වනු ඇත.
උස මිනිසුන් වන ෂෙබාවරු නුඹලා වෙත පැමිණ නුඹලාගේ වහල්ලු වන්නෝ ය.
ඔව්හු නුඹලා පසුපස්සේ දම්වැල්වලින් බඳිනු ලැබ නුඹලා වෙත පැමිණ වැඳ වැටී,
‘සැබැවින් ම ඔබ වෙත දෙවිඳාණෝ වැඩ සිටින සේක.
එතුමාණන් හැර වෙන දෙවි කෙනෙක් නැතැ යි කන්නලව් කරන්නෝ ය.
15 සිය සෙනඟ ගළවන ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳාණෝ සැබැවින් ම නොපෙනී සිටින දෙවි කෙනෙකැ’යි කියන්නෝ ය.
16 දේව රූප සාදන සියල්ලෝ ම ලජ්ජාවටත්, නින්දාවටත් පත් ව වියවුල් බවට පැමිණෙන්නෝ ය.
17 එහෙත්, ඉශ්රායෙල්වරු සමිඳුන් විසින් ගළවනු ලැබූ හ.
ඔවුන්ගේ ජයග්‍රහණය සදහට ම පවතින්නේ ය.
සෙනඟ ලජ්ජාවටත්, නින්දාවටත් කිසි කලක නොපැමිණෙති.
18 සගලෝ මැවූ, පොළොව සාදා එය නිම කළ, පාළු ඉඩමක් ලෙස නොව, විසුමට තැනක් ලෙස පොළොව මැවූ එක ම දෙවි වන සමිඳාණෝ මෙලෙස වදාරන සේක:
”මම සමිඳුන් වෙමි;
හුදෙක් මා හැර අන් දෙවි කෙනෙක් නැත.
19 මා කතා කෙළේ රහසින් නොවේ;
ලොවේ අඳුරු තැනක දී නොවේ.
අවුල් වියවුල් ඇති තැනක දී මා සොයන්න ඉශ්රායෙල්වරුන්ට නොකීවෙමි.
මම සමිඳු වෙමි;
මම සත්‍යය වදාරමි;
මම යුක්තිය ප්‍රකාශ කරමි.”

සමිඳාණන් වහන්සේ හා බබිලෝනියේ පිළිම

20 සමිඳාණෝ මෙසේ වදාරන සේක:
”ජාතීන් අතරේ ගැළවී සිටින සියල්ලෙනි, එක් රැස් ව ළඟා වෙත් වා!
ලී රූප උසුලාගෙන යන, ගැළවීම ගෙන දෙන්න නොහැකි,
දෙවිවරුන් යදින අයට නැණ නුවණ නැත.
21 ඉදිරියට අවුත් නුඹලාගේ නඩුව දන්වා එකිනෙකා සමඟ මන්ත්‍රණය කරගනිත් වා!
සිදුවන්න යන දේ බොහෝ ඉහත දී කීවේ කවරෙක් ද?
එසේ කෙළේ සමිඳාණන් වන මම නොවෙම් ද?
මා හැර අන් දෙවි කෙනෙක් නැත.
මම ධර්මිෂ්ඨ ගැළවුම්කාර දෙවිඳාණෝ ය;
වෙන දෙවි කෙනෙක් ඇත්තේ ම නැත,
22 ලෝ වැසි සියල්ලෙනි, මා වෙත එන්න;
දැන් මාගේ ගැළවීම ලබාගන්න.
මා හැර අන් දෙවි කෙනෙක් නොමැත.
23 මාගේ මුවින් ගිලිහෙන කිසිදු වචනයක් වෙනස් නොවේ;
එය සත්‍යයකි.
‘සියලු දණ හිස් මට නැමෙන බව, සියලු දිව් මා ගැන දිවුරන බව සහතික ලෙස දිවුරා කියමි.’
24 මා තුළින් පමණක් ශක්තිය හා දැහැමිකම ඇති වේ යයි ඔවුන් කියනු ඇත.
මට විරුද්ධ ව නැඟිටින අය නින්දා දුක් විඳිනු ඇත.
25 ඉශ්රායෙල්වරුන්ගේ සකල පරපුර මා තුළින් දමිටු කරනු ලැබ මා හට පැසසුම් දෙනු ඇත.”

Suba Asna - සුබ අස්න

FREE
VIEW