යෙසායා – 4 වන පරිච්ඡේදය –

1 ඒ කාලයේ දී, ස්ත්‍රීන් හත්දෙනෙක් එක මිනිසෙකු අල්ලාගෙන, ”තනිව සිටීමේ නින්දාව පහ කරගන්න පිණිස නුඹ අපේ ස්වාමි පුරුෂයා යයි කියන්න අපට ඉඩ දුන මැනව; අපේ කෑම බීම හා ඇඳුම්පැළඳුම් අපට ම සපයාගත හැකි යැ”යි කියන්නෝ ය.

අනාගත සෞභාග්‍යය

2 සමිඳාණන් වහන්සේගේ අංකුරය අලංකාර ව හා සරුසාර ව වැඩෙන කාලයක් පැමිණෙන්නේ ය. ඉශ්රායෙල්හි ඉතිරි ව සිටින සෙනඟ භූමියෙන් හටගන්න අස්වැන්න ගැන ආඩම්බර වෙති. ප්‍රීති වෙති. 3 ජෙරුසලමේ ඉතිරි ව සිටින අය එනම්, විනාශ නොවී ජීවත් ව සිටින පිණිස දෙවියන් වහන්සේ විසින් තෝරා ගනු ලැබූ අය, ‘ශුද්ධවන්තයෝ යැ’යි කියනු ලබන්නෝ ය. 4 සමිඳාණන් වහන්සේ ස්වකීය බලයෙන් සියොන්හි ස්ත්‍රීන් විනිශ්චයකර, පිරිසිදුකර ජෙරුසලමේ අපරාධය ද එහි වගුරුවනු ලැබූ ලේ ද සෝදා හරින සේක. 5 එවිට උන් වහන්සේ සියොන් කන්දට හා එහි සිටින සියල්ලන්ට ඉහළින් දවාලේ වලාකුළක් ද රාත්‍රියේ දුමාරයක් හා දීප්තිමත් ගින්නක් ද මවා එවන සේක. දෙවියන් වහන්සේගේ තේජාලංකාරය මුළු නගරය වසා ගෙන එය ආරක්ෂා කරන ආවරණයක් මෙන් වන්නේ ය. 6 එය දාවල් ග්‍රීෂ්මයෙන් මුවා වීමට සෙවණක් පිණිසත්, රක්ෂා ස්ථානයක් පිණිසත් කුණාටුවෙන් හා වර්ෂාවෙන් ආරක්ෂා වීමට ස්ථානයක් පිණිසත් වන්නේ ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW