යෙසායා – 39 වන පරිච්ඡේදය –

බබිලෝනියෙන් රාජ දූතයන් පැමිණීම
(2 රාජා: 20:12-19)

1 ඒ කාලයේ දී බලදාන්ගේ පුත්‍ර වූ බබිලෝනියේ රජ වූ මෙරොදක්බලදාන් තෙමේ හෙසකියා ලෙඩින් සිට සුවපත් වූ බව අසා ලියුමක් සහ තෑග්ගක් ඔහු වෙත එව්වේ ය. 2 හෙසකියා රාජ දූතයන් පිළිගෙන තමන් සතුරන් රිදී ද සුවඳ ද්‍රව්‍ය ද අනර්ඝ තෙල් ද තමාගේ මුළු යුද්ධායුධ ද තම ගබඩාවේ තිබුණු සියල්ල ද ඔවුන්ට පෙන්නුවේ ය. හෙසකියා තමාගේ මාලිගාවේ වත්, මුළු රාජ්‍යයෙහි වත් ඔවුන්ට නොපෙන්වූ කිසිවක් නොතිබුණේ ය. 3 එවිට දිවැසිවර යෙසායා, හෙසකියා වෙත ගොස්, ”ඒ අය ආවේ කොහෙන් ද? ඔබට ඔවුන් කීවේ කුමක් දැ”යි ඇසී ය. ”ඔව්හු දුර රටක් වන බබිලෝනියේ සිට ආවෝ ය”යි හෙසකියා පිළිතුරු දුන්නේ ය.
4 ”ඔව්හු රජ මැදුරේ කුමක් දුටුවෝ දැ”යි යෙසායා ඇසී ය. ”ඔව්හු සියල්ල ම දුටුවෝ ය. මාගේ ගබඩාවල ඔවුන්ට නොපෙන්වූ දෙයක් නැතැ”යි හෙසකියා පිළිතුරු දුන්නේ ය.
5 එවිට යෙසායාතුමා රජුට මෙසේ කී ය: සියලු බලැති සමිඳාණන් වහන්සේගේ මේ වචනය අසන්න. 6 ඔබේ රජ මැදුරේ ඇති සියල්ලත්, මේ දවස දක්වා ඇති ඔබේ මුතුන්මිත්තන් රැස් කළ සියලු දේත් කිසිවක් ඉතිරි නොකොට, බබිලෝනියට ගෙනයනු ලබන කාලයක් පැමිණෙන්නේ ය. 7 ඔබේ ම පෙළපතෙන් පැවත එන දරුවන්ගෙන් සමහරෙක් ද ගෙනයනු ලබන්නෝ ය. ඔවුන් නපුංසකයන් මෙන් බබිලෝනියේ රජුට සේවය කරනු ඇතැ යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.”
8 මේ කී දේ හෙසකියා තේරුම්ගත්තේ, තමාගේ ම ජීවිත කාලයේ දී සාමයත්, සුරක්ෂිතතාවත් ඇති වේ ය කියා ය. ඒ නිසා, ”සමිඳාණන් වහන්සේගේ පණිවුඩය යහපත් ය”යි ඔහු යෙසායාට කීවේ ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW