යෙසායා – 34 වන පරිච්ඡේදය –

සතුරන්ට දඬුවම් කිරීම

1 ජාතීනි, ළං වන්න;
ජනයෙනි, සවන් දෙන්න.
මුළු පොළොව ද එහි වැසි සියල්ලන් ද පැමිණ සවන් දෙන්න.
2 සමිඳුන් සෑම ජාතීන් කෙරෙහි උදහස් වී, ඔවුන්ගේ සියලු සේනාවන් කෙරෙහි කෝප වී විනාශයටත්, මැරුම්කෑමටත් ඔවුන් තීන්දුකර ඇත.
3 ඔවුන් අතරෙන් මැරුම් කෑ අය ඉවත දමනු ලබන්නෝ ය.
ඔවුන්ගේ මළකඳන් ගඳ ගසන්නේ ය.
කඳුවලින් ඔවුන්ගේ ලේ වෑස්සෙන්නේ ය.
4 ඉර, හඳ හා තාරකා මැලවී යන්නේ ය.
අහස, අකුළන පොතක් මෙන් ඇකිළී, එහි තාරකා, මිදි වැලකින් හෝ අත්තික්කා ගසකින් හෝ වැටෙන කොළ මෙන් වැටෙන්නේ ය.
5 සමිඳුන් සිය කඩුව සගයෙහි සූදානම්කර ඇත.
එයින් එතුමාණෝ, ඒදොම්හි සිටින, විනාශයට තීන්දු කරන ලද සෙනඟට පහර දෙන සේක.
6 පූජා කරනු ලබන එළු බැටළුවන්ගේ ලේ හා තෙල් ද බැටළුවන්ගේ වකුගඩු තෙලෙන් ද සමිඳාණන් වහන්සේගේ කඩුව තෙත් වී ඇත.
සමිඳාණෝ මේ මහා පූජාව බොශ්රා නගරයෙහි කරන සේක.
මෙය ඒදොම් දේශයෙහි මහා ඝාතනයක් වන්න සලසන සේක.
7 වල් මීහරකුන් හා ගොන් නාම්බන් සමඟ ඔව්හු ඇද වැටෙන්නෝ ය.
ඔවුන්ගේ ලෙයින් දේශය රතු වන්නේ ය;
ඔවුන්ගේ තෙලින් භූමිය වැසී යන්නේ ය.
8 සමිඳාණන් සියොන් බේරාගෙන ඇගේ සතුරන්ගෙන් පළිගන්න කාලය මෙය වේ.
9 ඒදොම්හි ගංගා තාර බවටත්, එහි භූමිය ගෙන්දගම් බවටත් හැරෙන්නේ ය.
මුළු දේශය දැවෙන තාර බිමක් වන්නේ ය.
10 එහි ඇවිලෙන ගින්න රෑ දාවල් දෙක්හි නොනිවී තිබෙන්නේ ය.
එයින් නඟින දුම සදහට ම පවතින්නේ ය.
පරපුරෙන් පරපුරට එය පාළු වන්නේ ය.
කිසිවෙක් ඒ මැදින් ගමන් නොකරන්නෝ ය.
11 උකුස්සන්ටත්, ඉත්තෑවන්ටත් දේශය උරුම වන්නේ ය.
බකමූණෝ ද කපුටෝ ද එහි වාසය කරන්නෝ ය.
සමිඳාණෝ එය මැවීමට පෙර තිබුණාක් මෙන් පාළු, හිස් දේශයක් කරන සේක.
12 රට පාලනය කිරීමට රජ කෙනෙක් නොවන්නේ ය;
අධිපතියෝ කිසිවෙක් ද නොවන්නෝ ය.
13 එහි මාලිගාවල කටු පඳුරු ද බලකොටුවල කහඹිලියා හා ගොකටු ද හටගන්නේ ය.
ඒවා හිවලුන්ටත්, පැස්බරුන්ටත් වාසස්ථාන වන්නේ ය.
14 වනයේ වල් මෘගයෝ ද වෘකයෝ ද එකට හමු වන්නෝ ය.
වල් එළුවෝ ඔවුන් එකිනෙකාට කෑගසන්නෝ ය.
උලමාත් එහි ලගින්න නිශ්චල තැනක් ලබාගන්නේ ය.
15 එහි සර්පයා බෙනය සාදා, බිජු දමා, රැක, පැටවුන් ඇගේ සෙවණෙහි තුරුලු කරගන්නී ය.
උකුස්සෝ එකෙක් පාසා එකෙක් එහි එකතු වන්නෝ ය.
16 සමිඳුන්ගේ පොත කියවා බලන්න;
එහි සඳහන් වී ඇති සතුන්ගෙන් එකෙක් වත් මෙහි අඩු නොවන්නේ ය.
හැම එකෙකුට ම ගෑණු සතෙක් ද වන්නේ ය.
එය නියම කළේ සමිඳාණෝ ම ය.
සමිඳාණෝ ම ඔවුන් එක් රැස් කරන සේක.
17 දාදු දමා, දේශය ඔවුන් අතරේ බෙදා එකිනෙකාට කොටසක් දෙන්නේ සමිඳාණෝ ය.
ඔවුන් එය සදාකාලයට ම උරුම කරගෙන පරම්පරාවෙන් පරම්පරාවට එහි වාසය කරනු ඇත.

Suba Asna - සුබ අස්න

FREE
VIEW