යෙසායා – 32 වන පරිච්ඡේදය –

අවංක රජ කෙනෙක්

1 අවංක රජ කෙනෙකු ද යුක්තියෙන් පාලනය කරන අධිපතීන් ද ඇති වන කාලයක් පැමිණෙන්නේ ය.
2 ඔව්හු, සුළඟින් වැළකෙන්න රැකවරණයක් මෙන් ද කුණාටුවෙන් සැඟවෙන්න ස්ථානයක් මෙන් ද වියළි බිමේ ගලා යන දිය පාරවල් මෙන් ද පාළු පෙදෙසක සෙවණ ගෙන දෙන විශාල පර්වතයක් මෙන් ද වන්නෝ ය.
3 පෙනීම ඇති අයගේ ඇස් අඳුරු නොවෙයි;
කන් ඇසෙන අයගේ කන් ඇහුම්කන් දෙයි.
4 ඔව්හු ඉක්මන්කාර ගතියෙන් තොර ව, ඥානවන්ත ලෙස ක්‍රියා කරමින්, තේරුම්පැහැදුම් ඇති ව කතා කරන්නෝ ය.
5 ‘අධමයා උත්තමයෙක් ය’ කියාවත්, කපටියා ගුණවන්තයෙක් ය’ කියාවත් තවත් කියනු නොලබන්නේ ය.
6 අඥානයා මෝඩ ලෙස කතා කරමින් නපුරු දේ කරන්න සිතයි;
ඔහු කරන දේත්, සිතන දේත් දෙවිඳුන්ට අපහාසයකි.
ඔහු කිසි කලක බඩගිනි අයට කන්න දෙන්නේ වත්, පිපාසිත අයට බොන්න දෙන්නේ වත් නැත.
7 ඔහු දුෂ්ට උපා යොදයි;
බොරුවෙන් දුප්පත් අය විනාශ කරන්නත්, ඒ අයගේ අයිතිවාසිකම් ඔවුන්ගෙන් වළක්වන්නත් ඔහු උපා යොදයි.
8 එහෙත්,
යුක්ති ගරුක මිනිසා යුක්තිය අනුව ක්‍රියාකර යුක්තිය වෙනුවෙන් ස්ථිර ව සිටින්නේ ය.

විනිශ්චයය හා පුනරුත්ථාපනය

9 සැප විහරණයෙන් කල් යවන ස්ත්‍රියනි, මා කියන දේට සවන් දෙන්න, වගකීමක් නැති තරුණියනි, මා කියන දේ අසන්න.
10 ඔබ දැන් තෘප්තිමත් ව සිටින නමුත්, තව අවුරුද්දකින් පමණ නෙළාගැනීමට මුද්‍රික පල කිසිවක් නොවන නිසා ඔබේ බලාපොරොත්තු ශුන්‍ය වන්නේ ය.
11 කරදරවලින් නිදහස් ව සැප විහරණයෙන් කල් යවන ස්ත්‍රියනි,
දැන් භීතියෙන් වෙවුළන්න;
ඔබේ වස්ත්‍ර ගලවාදමන්න;
ඉඟ වටා ගෝණි රෙදි ඇඳගන්න.
12 සාරවත් කෙත් හා මිදි වතු විනාශ වී ඇති නිසා ශෝකයෙන් ඔබේ පපුවට ගසාගන්න.
13 මාගේ සෙනඟගේ ඉඩම්වල කටු පඳුරු ද ගොකටු ද හටගන්නේ ය.
සොම්නසින් පිනා ගිය සියලු ම ප්‍රීතිය ඇති නගරයේ ගෙවල එසේ වන්නේ ය.
14 රජමැදුර පවා හිස් වන්නේ ය, අගනුවර ද සම්පූර්ණයෙන් පාළු වන්නේ ය;
ගෙවල් ද මුරකොටු ද සදහට ම නටබුන් වන්නේ ය;
වල් කොටළුවන් එහි ලගිනු ඇත;
ඒවා බැටළුවන්ට තණ බිම් වන්නේ ය.
15 එහෙත්, දෙවිඳාණෝ සිය ආත්මානුභාවය අප වෙත නැවත වරක් එවන සේක;
එවිට පාළු ඉඩම් සාරවත් වන්නේ ය.
සාරවත් ඉඩම් පාළු වන්නේ ය.
16 දේශයේ සෑම තැන ම පාළුකරයේ යුක්තියත්,
සාරවත් භූමියේ ධර්මිෂ්ඨකමත් පවතින්නේ ය.
17 සියලු දෙනා ම හරි දේ කරන බැවින් සාමයත්, ආරක්ෂාවත්,
සදහට ම පවතින්නේ ය.
18 දෙවිඳුන්ගේ සෙනඟගේ ගෙවල සාමයත්, ආරක්ෂාවත්,
කරදරවලින් නිදහස්කමත් ඇති වන්නේ ය.
19 ගල් වර්ෂාවෙන් වනය ඇද වැටී නගරය ද සමතලා වූවත්;
20 වැපිරීම සඳහා බොහෝ සේ වතුර ද ගවයන්ට හා කොටළුවන්ට නිදහසේ කෑමට සෑම තැන ම තණ බිම් ද ඇති වන නිසා නුඹලා වාසනාවන්තයෝ ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW