යෙසායා – 25 වන පරිච්ඡේදය –

ප්‍රශස්ති ගීයක්

1 සමිඳුනි, ඔබ මා දෙවිඳාණෝ ය.
ඔබේ නම ගෞරවයෙන් උසස් කොට පසසන්නෙමි.
ඔබ පුදුම දේ කර ඇත.
පෙර ඔබ අදහස් කළ දේ විශ්වාස ලෙස ද සැබෑ ලෙස ද ඔබ ඉටු කරන සේක.
2 ඔබ නගරය සුණු විසුණු කර බලකොටු නටබුන් ගොඩක් කළ සේක.
අපේ සතුරන් ගොඩනැඟුවා වූ මාලිගා සදහට ම විනාශ වී ගොස් ඇත.
ඒවා කවදාවත් යළි ඉදි නොකරනු ලැබේ.
3 බලවත් ජාතීන්ගේ සෙනඟ ඔබට ගෞරව කරති.
කුරිරු ජාතීන්ගේ නගර ඔබට බිය වෙයි.
4 දුගී අසරණ අයට ඔබ රැකවරණය වූ සේක;
කම්කටොලු ඇති කාලවල දී ඔවුන්ට බලකොටුවක් වූ සේක;
කුණාටුවේ දී ආරක්ෂාවත්, තද ග්‍රීෂ්මයේ දී සෙවණත් ඔබ ඔවුන්ට දුන් සේක.
5 නපුරු අය ශීත සෘතුවේ කුණාටුවක් මෙන් ද වියළි දේශයක නියඟයක් මෙන් ද ඔවුන්ට පහර දෙති.
එහෙත් සමිඳුනි, වලාකුළක් තද අවු රශ්මිය පහ කරන්නාක් මෙන් ඔබ අපේ සතුරන් ද නපුරු සෙනඟගේ කෑමොරගැසීම් ද නිහඬ කළ සේක.

ජාතීන්ට මංගල භෝජනයක්

6 සියලු බලැති සමිඳාණන් වහන්සේ මේ සියොන් කන්ද මත සියලු ජාතීන් හට ඉස්තරම් මුද්‍රික පානයෙන් හා රසමසවුලින් යුත් මංගල භෝජනයක් සූදානම් කරන සේක. 7 මෙහි දී උන් වහන්සේ සියලු ජාතීන් වසාගෙන පැවති දුක නමැති වලාකුළ පහකරන සේක. 8 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මරණය සදහට ම විනාශ කරදමන සේක. සියලු මුහුණුවලින් කඳුළු පිසදමන සේක. ලොව මුළුල්ලේ තමන්ගේ සෙනඟට ඇති වී තිබෙන නින්දාව පහකරන සේක. මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ ම ය.
9 එසේ සිදු වූ විට සියලු දෙනා මෙසේ කියනු ඇත. ”බලන්න, මේ අපේ දෙවියන් වහන්සේ ය; උන් වහන්සේ අප ගළවා ගන්න සේකැ යි බලාපොරොත්තුවෙන් සිටියෙමු. උන් වහන්සේ අපේ සමිඳාණන් වහන්සේ ය. උන් වහන්සේ අප ගළවාගත් බැවින් අපි ප්‍රීති සන්තෝෂ වන්නෙමු”

මෝවබ් දේශය දඬුවම් කරනු ලැබීම

10 සමිඳාණන් වහන්සේ සියොන් කන්ද ආරක්ෂා කරන සේක. එහෙත්, මෝවබ් සෙනඟ කසළ ගොඩේ පිදුරු මෙන් මඩිනු ලබන්නෝ ය. 11 පීනන්නෙකු පිනන්නට අත් විදහන්නාක් මෙන් ඔව්හු තමන්ගේ අත් විදහා පාන්නෝ ය. එහෙත්, දෙවියන් වහන්සේ ඔවුන්ගේ උඩඟුකම නිසා දක්ෂතාව පහත් කරන සේක. එබැවින් ඔවුන්ගේ ප්‍රයත්න නිෂ්ඵල වනු ඇත. 12 සමිඳාණන් වහන්සේ උස් පවුරු සමඟ මෝවබ්හි බලකොටු සිඳ බිඳදමන සේක. ඒවා දූවිල්ලෙහි හෙළාදමන සේක.

Suba Asna - සුබ අස්න

FREE
VIEW