යෙසායා – 21 වන පරිච්ඡේදය –

බබිලෝනියේ වැටීම

1 බබිලෝනිය පිළිබඳ දේව ප්‍රකාශනය මෙසේ ය:
කාන්තාරය හරහා හමන සුළි සුළඟක් සේ භයානක දේශයකින් විනාශය පැමිණෙන්නේ ය.
2 කෲරතර සිද්ධීන් පිළිබඳ දර්ශනයක් මට ප්‍රකාශ කරන ලද්දේ ය.
එය කොල්ලයත්, විනාශයත් පිළිබඳ දර්ශනයකි.
ඒලාම් හමුදාවෙනි, පහර දෙව්!
මේදිය හමුදාවෙනි, නගර වටලාගනිව්!
බබිලෝනිය විසින් ඇති කරන ලද දුක් වේදනා දෙවිඳාණෝ කෙළවර කරන සේක.
3 මා දුටු සිහිනය මාගේ සිතෙහි ඉමහත් භීතියක් ද ස්ත්‍රියකට ඇතිවන ප්‍රසව වේදනාව වැනි වේදනාවක් ද ඇති කර තිබේ.
මම කන් නෑසෙන තරම් වේදනාවෙන් මිරිකී සිටිමි;
ඇස් නොපෙනෙන තරම් කැළඹී සිටිමි.
4 මාගේ හිස කරකැවේ;
භීතියෙන් මම වෙවුළමි;
සවස් වන තුරු මම බලාපොරොත්තුවෙන් බලා සිටිමි.
එහෙත්, සවස් වූ විට ඇති වූයේ භීතිය පමණකි.
5 භෝජන උත්සවයක් පිළියෙළ කරනු ලබන බවත්, අමුත්තන්ට අසුන් ගැනීමට බුමුතුරුණු තබන බවත්, ඔවුන් කමින් බොමින් සිටින බවත් ඒ දර්ශනයෙන් පෙනේ.
එවිට හදිසියේ ම, ”නිලධාරියෙනි නැඟිටින්න, නුඹලාගේ පලිස් සූදානම් කරන්නැ”යි ආඥාවක් නික්මේ.
6 එවිට සමිඳාණෝ මට මෙසේ වදාළ සේක:
”නුඹ ගොස් මුරකාරයෙකු තබා, ඔහු දකින දේ දන්වන්න කියා ඔහුට කියන්න.
7 අසරුවන් දෙදෙන දෙදෙන බැගින් ද කොටළුවන් හා ඔටුවන් පිට යන මිනිසුන් ද ඔහු දුටුවොත්,
එය සුපරීක්ෂාකාරීව නරඹන්න කියා ඔහුට කියන්න.”
8 මුරකරුවා ද, ”ස්වාමීනි, මම රෑ දාවල් දෙක්හි මුර පළේ සිටියෙමි”යි කෑ ගසා කියන්නේ ය.
9 හදිසියේම අසරුවන් දෙදෙන දෙදෙන පිට සෙනඟ පැමිණෙති;
මුරකරුවා ඒ පුවත පළ කරමින්, ”බබිලෝනිය වැටිණි!
බබිලෝනිය වැටිණි!
ඇගේ දෙවිවරුන් වන කැපූ රූප සියල්ල ම කඩා බිඳදමන ලද්දේ ය”යි
කියන්නේ ය.
10 මාගේ ඉශ්රායෙල් සෙනඟෙනි, නුඹලා කමතේ ගොයම් මෙන් මඩිනු ලැබුවහු ය. එහෙත් දැන්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි වන සව් බලැති සමිඳුන්ගෙන් මා ඇසූ ශුභ අස්න මම නුඹලාට දැනුම් දෙන්නෙමි.

ඒදොම් ගැන දේව ප්‍රකාශනය

11 ඒදොම් ගැන දේව ප්‍රකාශනය මෙසේ ය:
සේයිර් සිට කෙනෙක් මට හඬගසා, ”මුරකරුව, රාත්‍රිය ගෙවී යන්න තව කොතෙක් වේලා ඇද් ද?
එය ඉක්මනින් ගෙවී යනු ඇද්දැ”යි අසන්නේ ය.
12 ”පහන් වේලාව එන්නේ ය;
රාත්‍රිය ද එන්නේ ය;
ඔබ අසන්න කැමැති නම්, යළි අවුත් අසන්නැ”යි ඔහු පිළිතුරු දෙන්නේ ය.

අරාබිය ගැන දේව ප්‍රකාශනය

13 අරාබිය ගැන දේව ප්‍රකාශනය මෙසේ ය:
තවලම් කණ්ඩායම් වශයෙන් ගමන් කරන දෙදාන්වරුනි, අරාබියේ පාළු ප්‍රදේශයේ නුඹලා කඳවුරු බැඳගෙන සිටින්නහු ය.
14 නුඹලා වෙත පැමිණෙන පිපාසිත සෙනඟට බොන්න වතුර දෙන්න;
තේමා රටේ වැසියෙනි, නුඹලාගේ පිහිට සොයා පලා එන්නන්ට කන්න දෙන්න.
15 ඔව්හු කොපුවෙන් ඇදගත් කඩුවලින් ද තැත් කැවූ දුන්නෙන් ද යුද්ධයෙන් ඇති වන විනාශයෙන් ද ගැළවෙන පිණිස පලා යති.
16 එවිට සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: ”හරියට තව අවුරුද්දකින් කේදාර්හි ගෝත්‍රවල බලය නැතිවී යන්නේ ය. 17 දුනුවායෝ කේදාර්හි සිටින සෙනඟ අතරෙන් ඉතා නිර්භීත අය වෙති. එහෙත්, ඔවුන්ගෙන් ඉතිරි වන්නෝ ඉතා ස්වල්ප දෙනෙක් පමණි. ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වන මම මෙසේ පවසන්නෙමි.”

Suba Asna - සුබ අස්න

FREE
VIEW