යෙසායා – 15 වන පරිච්ඡේදය –

මෝවබ් රටේ විනාශය

1 මෝවබ් රට පිළිබඳ පණිවුඩය මෙය ය:
”එක රාත්‍රියක දී මෝවබ් දේශයෙහි ආර් හා තීර් පාළු කොට වනසන ලදී;
මෝවබ් දේශය පුරා විනාශය ඇත.
2 දීබොන් දේශයේ සෙනඟ ගිරිකුළු දේවාලවලට ගොස් හඬා වැලපෙන්නෝ ය.
නෙබෝ සහ මේදෙබා ගැන මෝවබ් වැලපෙන්නේ ය.
දුක් බරින් ඔවුන් තමන්ගේ හිස් මුඩු කර රැවුල් කපා ඇත.
3 වීථිවල සිටින සෙනඟ ගො‍්ණි රෙදි ඇඳ සිටිති;
ඔව්හු සැම දෙන ම තමන්ගේ පියසි උඩ ද එළිමහන් ඉඩම්වල ද කඳුළු හළමින්, කෑමොරගසා විලාප කියති.
4 හෙෂ්බොන් හා එලෙයාලේ නගරවල සෙනඟ කෑගසති;
ඔවුන්ගේ හඬ ජහශ් දක්වා ඇසෙයි.
හේවායෝ පවා වෙවුලති.
ඔවුන්ගේ ධෛර්යය පහ වී ගොස් ඇත.
5 මාගේ සිත මෝවබ් නිසා කම්පා වෙයි.
එහි සෙනඟ ශෝවාර් හෙවත් එග්ලත්-ෂෙලිෂිය නගරයට පලා යති.
ඇතැමෙක් හඬ හඬා ලුහිත්හි ගොඩැල්ලේ නැඟී යති.
හොරොනායිම් මාර්ගයෙහි දී සමහරු මරහඬ දෙමින් කෑගසති.
6 නිම්රිම්හි ඔය සිඳී ගොස් පාළුකරයක් වී ඇත.
ඒ අසල තණ මැලවී ගොස් ඇත.
අමු කොළයක් දකින්න වත් නැත.
7 තමන් රැස් කරගත් දේපළ රැගෙන බට පඳුරු ඇති ඔය හරහා පලා යන්න සෙනඟ උත්සාහ කරති.
8 මුළු මෝවබ් දේශය පුරා කෑගැසීමේ හඬ ඇසේ;
එහි විලාප හඬ එග්ලයිම් හා බෙයෙර්-එලීම් නගර දක්වා ඇසේ.
9 දීමොන් නගරයේ ගඟ ලෙයින් පිරී ඇත.
ඊටත් වඩා භයානක දෙයක් එහි සෙනඟට කරන්න දෙවිඳුන් අදහස් කර ඇත.
මෝවබ් දේශයෙන් පලා යන අයත්, ඉතිරි ව සිටින සියලු දෙනාත් සිංහයන්ට ගොදුරු වෙති.”

Suba Asna - සුබ අස්න

FREE
VIEW