යෙසායා – 13 වන පරිච්ඡේදය –

බබිලෝනියේ විනාශය

1 මේ වනාහි ආමොස්ගේ පුත් යෙසායාට බබිලෝනිය ගැන එළිදරව් වූ දෙවියන් වහන්සේගේ පණිවුඩය ය:
2 ”පාළු කඳු මුදුනක කොඩියක් ඔසවන්න;
රණ හොරණෑව පිඹින්න;
ලකුණක් දෙන්න;
ප්‍රභූවරුන්ගේ දොරටුවට පැමිණෙන ලෙස හේවායින්ට අණ දෙන්න.
3 සමිඳුන්ගේ උදහසට ලක් ව සිටින අයට විරුද්ධ ව සටන් කරන පිණිස එතුමන්ට කැප වූ හේවායින්ට ද බලධාරීන්ට ද පැමිණෙන ලෙස අණ කර ඇත.
4 ”සවන් දෙන්න;
කඳු මුදුනෙහි මහා ඝෝෂාවක් ඇසේ.
එය වනාහි ජාතීන්ගෙනුත්, රට රාජ්‍යවලිනුත් එක් රැස් වන මහා ජනකායකගේ ඝෝෂාව ය.
මම යුද්ධ සඳහා මාගේ හමුදා සූදානම් කරන්නෙමි.
5 පොළොවේ සීමාන්තවල ඇති දුර බැහැර රටවලින් ඔව්හු පැමිණෙති.
මුළු දේශය වනසන පිණිස තමන් වහන්සේගේ උදහසේ ආයුධ වන ඔවුන් සමඟ මම පැමිණෙන්නෙමි.
6 ”මොරගසා වැලපෙන්න.
සමිඳුන්ගේ දවස එනම්,
සර්වපරාක්‍රමයාණන් විනාශය පමුණුවන දවස ආසන්න ය.
7 සෑම අතක්ම බෙලහීන වනු ඇත.
සෑම සිතක්ම අධෛර්ය වනු ඇත.
8 ඔව්හු භීතියට පත් වී ස්ත්‍රියක විඳින ප්‍රසව වේදනාව මෙන් මහා වේදනාවෙන් පෙළෙන්නෝ ය.
ඔව්හු එකිනෙකා දෙස භීතියෙන් බලන්නෝ ය. ඔවුන්ගේ මුහුණු ගිනිදළු මෙන් වන්නේ ය.
9 දේශය පාළු කරදමා, එහි වසන පව්කාරයන් එයින් මුලිනුපුටා දමන පිණිස සමිඳුන්ගේ ඒ දවස රෞද්‍ර ව, කෝපයෙන් හා බලවත් උදහසින් එන්නේ ය.
10 අහසේ තාරකා ද ග්‍රහ මණ්ඩලය ද නො බැබළෙන්නේ ය.
ඉර උදාවන විට ම අඳුරු වන්නේ ය.
සඳ ද එළිය නොදෙන්නේ ය.
11 මම ලෝකයාට ඔවුන්ගේ නපුරුකම් නිසාත්,
දුෂ්ටයන්ට ඔවුන්ගේ අයුතුකම් නිසාත් දඬුවම් කරමි.
උඩඟු අයගේ අහංකාරය නවත්වා, බලහත්කාරකම් කරන්නන්ගේ ආඩම්බරය පහකරන්නෙමි.
12 මිනිසුන් අගනා රනටත් වඩා දුර්ලභ වන්නෝ ය.
ඔව්හු ඕපීර් රනට වඩා දුර්ලභ වන්නෝ ය.
13 සව් බලැති සමිඳුන් වන මම, මාගේ උදහස දක්වන දවසේ දී අහස චංචල කරන්නෙමි;
පොළොව ද නියම තැනින් විසි වී යන්නේ ය.
14 එවිට, ලුහුබඳනා ලද මුවන් මෙන් ද එඬේරෙකු නැති ව විසිරී යන බැටළුවන් මෙන් ද බබිලෝනියේ සිටින විදේශිකයෝ සිය මව් බිම කරා තම තමාගේ සෙනඟ වෙත පලා යන්නෝ ය.
15 හමු වන හැම කෙනෙක් ම ඇනුම් කන්නෝ ය;
අසු වන හැම කෙනෙක් ම කඩුවෙන් මැරුම් කන්නෝ ය.
16 ඔවුන් බලා සිටිය දී ඔවුන්ගේ ළදරුවෝ බිම ගසා මරනු ලබන්නෝ ය.
ඔවුන්ගේ ගෙවල් කොල්ලකනු ලබන්නේ ය.
ඔවුන්ගේ භාර්යාවෝ දූෂණය කරනු ලබන්නෝ ය.
17 බබිලෝනියට පහර දෙන පිණිස මම මේදවරුන් පොළඹවන්නෙමි.
ඔවුන් රිදී අගය කරන්නේ වත්, රනට ප්‍රිය වන්නේ වත් නැත.
18 ඔව්හු දුනුවලින් යෞවනයන් කැබලි කරන්නෝ ය;
දරුවන්ට අනුකම්පා නොකරන්නෝ ය;
ළමුන්ට කරුණාව නොදක්වන්නෝ ය.
19 මෙසේ සියලු රාජ්‍යවලට වඩා අලංකාර, ජනයාගේ ආඩම්බරයට තුඩු දෙන බබිලෝනිය මම සොදොම් හා ගොමොරා විනාශ කළාක් මෙන් විනාශ කරන්නෙමි.
20 මින් මතු කවදාවත් එහි කිසිවෙක් නොවසන්නෝ ය.
කිසිම අරාබි ජාතිකයෙකු තමාගේ කූඩාරම එහි ගසන්නේ වත්,
කිසිම එඬේරෙකු තමාගේ බැටළුවන් එහි ලග්ගවන්නේ වත් නැත.
21 වන මෘගයන් එහි ලගිනු ඇත;
බකමූණන් උන්ගේ කැදලි එහි සාදනු ඇත;
පැස්බරුන් එහි වසනු ඇත;
වල් එළුවන් ද එහි නටනු ඇත.
22 එහි ඇති කොත්වලත්, මාලිගාවලත් නරියන් හා සිවලුන් කෑගසනු ඇත.
බබිලෝනියේ විනාශයේ දවස දැන් පැමිණ ඇත. එය වැඩි කල් පවතින්නේ නැත.”

Suba Asna - සුබ අස්න

FREE
VIEW