මලාකි – 4 වන පරිච්ඡේදය –

ධර්මිෂ්ඨකමේ ජයග්‍රහණය

1 සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”උඩඟු අය ද නපුරු අය ද පිදුරු පො‍්රණුවක දැවෙන්නාක් මෙන් දැවී යන දවසක් පැමිණෙන්නේ ය. ඒ දවසේ දී කිසිවෙක් ඉතිරි නොවන සේ දැවී යන්නෝ ය. 2 එහෙත්, මාගේ නාමයට ගරුබිය දක්වමින්, ජීවත්වන නුඹලාට ධර්මිෂ්ඨකම නමැති සූර්යයා සිය රැස්වල සුවසහනය ඇති ව උදාවන්නේ ය. ගාලෙන් පිට වී දුව පැන යන වහු පැටවුන් මෙන් නුඹලා ප්‍රීති වන්නහු ය. 3 මා ක්‍රියා කරන්න යන දවසේ දී නුඹලා දුෂ්ටයන් පාගාදමන්නහු ය. ඔව්හු නුඹලාගේ පාද යට ධූලි මෙන් වන්නෝ ය.
4 ”ඉශ්රායෙල්හි සියලු සෙනඟ විසින් පිළිපදිනු ලබන පිණිස හොරෙබ් කන්දේ දී මාගේ සේවක මෝසෙස්ට මා දුන් ආඥා හා නියෝග සිහි කරන්න.
5 ”සමිඳාණන් වහන්සේගේ මහා භයානක දවස පැමිණෙන්නට පෙර මම දිවැසිවර එලියා නුඹලා වෙත එවන්නෙමි. 6 මා පැමිණ නුඹලාගේ දේශය විනාශ නොකරන පිණිස, ඔහු පියවරුන්ගේ සිත් දරුවන් වෙතට ද දරුවන්ගේ සිත් පියවරුන් වෙතට ද හරවනු ලබනවා ඇත.”

Suba Asna - සුබ අස්න

FREE
VIEW