බාරුක් – 3 වන පරිච්ඡේදය –

1 ”සව් බලැති සමිඳාණන් වහන්ස, ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්ස, වේදනාවෙන් පීඩිත වූ, කරදර වලින් මුසපත් වූ කෙනෙක් දැන් ඔබට හඬ නඟා මෙසේ කියති: 2 සමිඳාණන් වහන්ස, සවන් දී අපට කරුණා කළ මැනව. මන්ද, අපි ඔබ ඉදිරියෙහි පව් කෙළෙමු. 3 ඔබ වහන්සේ නම්, සදහට ම සිංහාසනාරූඪ වී වැඩ සිටින සේක. අපි නම්, දිනෙන් දින ම විනාශ වී යන්නෙමු. 4 සව් බලැති සමිඳාණන් වහන්ස, ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්ස, ඉශ්රායෙල්වරුන් අතර මියගිය අයගේ ද ඔබට විරුද්ධ ව පව් කොට තමන්ගේ දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට සවන් නුදුන් ඉශ්රායෙල් ජනයාගේ ද යාච්ඤාවට සවන් දුන මැනව. ඔබට සවන් නුදුන් බැවින් අපට දුක් කරදර පැමිණ තිබේ. 5 අපේ මුතුන්මිත්තන්ගේ වැරදි ක්‍රියා සිහි නොකළ මැනව. එහෙත්, ඔබේ බල මහිමයත්, නාමයත් සිහි කළ මැනව. 6 සමිඳාණන් වහන්ස, ඔබ සැබැවින් ම අපේ දෙවි ස්වාමීන් වහන්සේ ය. ඔබට ප්‍රශංසා කිරීමට අපි ඉතා ආශා වෙමු. 7 මන්ද, ඔබ අපේ සිත් තුළට ඔබ කෙරෙහි ගෞරවය ඇතුල් කොට ඔබේ නාමය කියා යාච්ඤා කිරීමට අප ධෛර්යවත් කළ සේක. ඔබට විරුද්ධ ව පව් කළ අපේ මුතුන්මිත්තන්ගේ පාප ආශාවන් අපේ සිත්වලින් දුරු කොට තිබෙන බැවින්, අප විප්‍රවාස ගත වී සිටින මේ රටේ ඔබට ප්‍රශංසා කිරීමට ඉතා ආශා වෙමු. 8 අපේ දෙවි ස්වාමීන් වහන්සේ අත්හළ අපේ මුතුන්මිත්තන්ගේ සියලු වැරදි ක්‍රියාවලට දඬුවම් වශයෙන් අතිශයින් පිළිකුල් කටයුතු වූ ද සාප ලද්දා වූ ද හෙළා දකිනු ලැබුවා වු ද ජනතාවක් වශයෙන් ඔබ විසින් විසුරුවාදමනු ලැබ තවමත් විප්‍රවාස වී සිටින අප වෙත අද දින ඔබේ බැල්ම හෙළුව මැනව.”

ප්‍රඥාව පැසසීම

9 ඉශ්රායෙල් ජනයෙනි, ජීවනදායක නීතිවලට සවන් දෙන්න.
සවන් දී, දැනගැන්ම කුමක් ද කියා තේරුම්ගන්න,
10 ඉශ්රායෙල් ජනයෙනි, සතුරු රටක, විදෙස් බිමක මහලු වෙමින්,
11 මළවුන්ගේ දූෂණයන්ට පංගුකාර වෙමින්, පාතාලයට යා යුතු අයගේ ගණයට වැටෙමින්, ඔබ හැම සිටින්නේ මන් ද?
12 ඔබ ප්‍රඥාවේ උල්පත අත්හළහු ය.
13 ඔබ දෙවි මඟ ගියහු නම්, ඔබ සදහට සුව සේ වසනු ඇත.
14 දැනගැන්ම කොහේ ද? ශක්තිය කොහේ ද? නැණනුවණ කොහේ ද කියා දැනගන්න. දිගායු කොහේ ද?
ජීවිතය කොහේ ද? දෑසේ එළිය කොහේ ද?
සාමය කොහේ ද කියා දැනගන්න.
15 ප්‍රඥාව කොහේ ද කියා සොයාගත්තේ කවරෙක් ද?
ඇගේ නිදන් නිවසට ඇතුළු වූයේ කවරෙක් ද?
16 දැන්, ජාතීන්ගේ නායකයෝ කොහේ ද?
මිහි පිට වන සතුන් පාලනය කළ අය කොහේ ද?
17 අහස් පක්ෂීන් මෙහෙයවූ අය කොහේ ද?
මිනිස් සංහතිය අගය කරන, රන් රිදී එකතු කළ අය කොහේ ද?
අසීමිත වස්තුව තිබූ අය කොහේ ද?
18 රිදියෙන් දස්කම් පාමින් ඉතා සැලකිල්ලෙන් ක්‍රියා කළ, අයගේ කෘතීන් ගැන සලකුණු ඇද් ද?
19 මොවුහු අතුරුදහන් වී පාතාලයට බැස ගියෝ ය;
සෙස්සෝ ඔවුන්ගේ තැන ගත්හ.
20 නූතන පරපුර මෙලෝ එළිය දැක, මිහි පිට වැඩි වර්ධනය වී ඇත.
21 එහෙත් ඔව්හු නැණ මඟ නොදත්හ.
ඔව්හු පැණ මඟ තේරුම් නොගත්හ.
ඔවුන්ගේ පුත්‍රයන් පැණ මඟින් දුරස්තර වී සිටි බැවින් ඔව්හු කිසිසේත් එය දැන නොගත්හ.
22 කානාන් දේශයේ දී එය ගැන කිසිවක් අසා නැත;
තේමාන් දේශයේ දී එය ගැන කිසිවක් දැක නැත.
23 හාගාර්ගේ පෙළපත ද ලෝක ප්‍රඥාව සොයා යයි.
මිදියන්හි සහ තේමාන්හි වෙළෙන්දෝ ද, කවිකොළකාරයෝ ද, දර්ශනවාදීහු ද, පැණ මඟ සොයා නොගත්හ;
පැණ මඟ දැන නොගත්හ.
24 ඉශ්රායෙල් ජනයෙනි, දෙවි නිවෙස කෙතරම් විශාල ද?
එතුමන් රජය කෙතරම් පුළුල් ද?
25 මිණිය නොහැකි තරමට එය පුළුල් ය;
නිම්හිම් නොමැති තරමට එය උස ය.
26 බොහෝ උස, රණ ශූර, පැරණි කල පටන් ප්‍රකට යෝධයෝ එහි උපන් හ.
27 දෙවි තුමාණෝ ඔවුන් තෝරා නොගත් සේක.
නැණ මඟ එවුන් හට අනාවරණය කෙළේ නැත.
28 ප්‍රඥාව නැතිකමින් ඔව්හු මියගිය හ;
ඔවුන්ගේ ම මො‍්ඩකමින් වැනසී ගියහ.
29 ප්‍රඥාව සොයාගැනීමට අහසට නැංගේ කවරෙක් ද?
වලාකුළුවලින් එය ගෙන ඒමට එහි ගියේ කවරෙක් ද?
30 පෙරූ රන් දී එය මාරු කොට ආපසු ගෙන එනු සඳහා සමුදුර තරණය කෙළේ කවරෙක් ද?
31 ප්‍රඥාව වෙත යන මඟ කිසිවෙක් නොදනිති;
ඇය යන මාවත කිසිවෙකුට සොයාගත නොහැකි ය.
32 එහෙත්, සියලු දේ දත් තැනැන් වහන්සේ ප්‍රඥාව දන්න සේක;
සිය බුද්ධිය මඟින් එය තේරුම්ගත් සේක;
උන් වහන්සේ මිහිතලය සාදා තිර කොට පිහිටවූ සේක;
එය සිවුපා සතුන්ගෙන් පුරවා ලූ සේක.
33 උන් වහන්සේ ආලෝකය දෙන සේක;
එය විහිදී යයි.
එය ආපසු කැඳවනු ලැබේ;
වෙවුලමින් එය අවනත වෙයි.
34 නිසි කලට තරු කැල සතුටින් බබලයි. ප්‍රීතිවෙයි.
35 එතුමා ඒවාට අමතන විට, ‘අපි මෙහි ය’යි ඒවා පිළිතුරු දෙයි.
36 එතුමා අපේ දෙවිඳාණෝ ය.
එතුමාණන්ට සම අන් කෙනෙක් නැත.
37 එතුමාණෝ නැණනුවණ මඟ දන්න සේක.
සේවක ජාකොබ්ට ඒ මඟ පවසා ඇත.
පෙම්බර ඉශ්රායෙල් ජනයාට එය දී ඇත.
38 මෙලෙස මිහි පිට නැණ මඟ දිස් වෙයි;
දනන් අතර සැරිසරයි.

Suba Asna - සුබ අස්න

FREE
VIEW