බාරුක් – 1 වන පරිච්ඡේදය –

බාරුක් හා බබිලෝනියේ ජුදෙව්වරු

1 නෙරයාගේ පුත් බාරුක් විසින් බබිලෝනියාවේ දී ලියන ලද පොත මෙය වේ. සෙදෙකියා, හසදියා, හිල්කියා යන අයගේ පරපුරෙන් පැවතෙන මහෙසියාගේ මුණුබුරා, නෙරයා විය. 2 මෙය ලියන ලද්දේ කල්දිවරුන් ජෙරුසලම අල්ලාගෙන එය ගිනිබත් කළ කාලයේ දී ය. එනම්, පස් වන අවුරුද්දේ පස් වන මාසයේ හත් වන දින දී ය.
3 මේ පොතේ ලියන ලද කාරණා බාරුක් තෙමේ ජුදාහි රජ වූ ජෙහොයාකීම්ගේ පුත් ජෙකො‍්නියාට ද ඒවා ඇසීමට පැමිණි මුළු සෙනඟ වන, 4 අධිපතීන්ට ද රාජ කුමාරයන්ට ද ප්‍රජා මූලිකයන්ට ද සුද් නම් ගං තෙර බබිලෝනියාවේ විසූ ලොකු කුඩා සියල්ලන්ට ද හඬ නඟා කියෙව්වේ ය. 5 එය ඇසූ විට ඔව්හු හඬා වැලපී උපවාස කොට සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි යාච්ඤා කළො‍් ය. 6 තවද, ඔව්හු හැකි පමණ මුදල් එකතු කොට, 7 ෂල්ලුම්ගේ පුත්‍රයා වන හිල්කියාගේ පුත් පූජක ජෙහොයාකීම් උදෙසාත්, මොහු සමඟ ජෙරුසලමේ වසන සියලු දෙන උදෙසාත් වෙනත් පූජකවරුන් උදෙසාත්, මෙය ජෙරුසලමට යැව්වෝ ය. 8 සිවන් මාසයේ දස වන දින ජුදා දේශයට ගෙනයනු පිණිස දේව මාලිගාවෙන් ඉවත් කරන ලද සමිඳාණන් වහන්සේගේ ගෘහයේ භාජන සොයාගත්තේ බාරුක් ය. 9 ජුදාහි රජ වූ ජොසියාගේ පුත් හෙදෙකියා විසින් ඒ රිදී භාජන සාදන ලද්දේ බබිලෝනියාවේ රජ වූ නෙබුකද්නෙශර් රජු විසින් ජෙකො‍්නියා ද, ඔහු සමඟ රාජ කුමරුවන් ද ලෝහ ශිල්පීන් ද උසස් ජනතාව සහ සාමාන්‍ය ජනයා ද ජෙරුසලමේ සිට බබිලෝනියාවට පිටුවහල් කරනු ලැබූ කාලයේ දී ය.
10 තවද, ඔවුන් විසින් මෙසේ ලියා තිබිණි. මෙය සමඟ දවන යාග පූජාවලට ද පාප පූජාවලට ද සුවඳ දුම්වලට ද ගෙවිය යුතු මුදල අපි එවන්නෙමු. ආහාර සූදානම් කොට ඒවා අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ පූජාසනය මත ඔප්පු කරන්න. 11 බබිලෝනියාවේ රජ වූ නෙබුකද්නෙශර්ට ද ඔහුගේ පුත් බෙල්ෂෙසර්ට ද දිගායු ලැබෙන ලෙසත්, ඔවුන්ගේ මිහි පිට ජීවිත කාලය ඉර හඳ මෙන් චිරාත් කාලයක් වැජඹෙන ලෙසත් යාච්ඤා කරන්න. 12 බබිලෝනියාවේ රජ වූ නෙබුකද්නෙශර්ගේ සහ ඔහුගේ පුත් බෙල්ෂෙසර්ගේත් රැකවරණය යටතේ අපට ජීවිතය ගෙන යෑමට හැකි වන පරිදි සමිඳාණන් වහන්සේ අපට ශක්තියත් පැහැදීමත් දෙන ලෙසටත්, දිගු කාලයක් සේවය කිරීමෙන් ඔවුන්ගේ ප්‍රසාදයට අප ලක් වන ලෙසටත් යාච්ඤා කරන්න. 13 අප දෙවි ස්වාමීන් වහන්සේට විරුද්ධ ව පව් කර තිබෙන නිසා සමිඳාණන් වහන්සේගේ කෝපය සහ උදහස තවමත් අපගෙන් අහක් නොවී තිබෙන බැවිනුත්, අප උදෙසා උන් වහන්සේට යාච්ඤා කරන්න. 14 අවසන් කොට සමිඳාණන් වහන්සේගේ ගෘහය තුළ මංගල්‍ය දවසේ දී ප්‍රසිද්ධ රැස්වීම් පවත්වන දවස්වල දී ද අප මේ සමඟ ඔබට එවන පොත ශබ්ද නඟා කියවා ප්‍රසිද්ධ ලෙස පාපෝච්චාරණය කළ යුතු ය.

පාපෝච්චාරණය

15 ඔබ මෙසේ කිව යුතු ය: ”අවංකභාවය අපේ දෙවි ස්වාමීන් වහන්සේට හිමි ය. අද දින ජුදාහී සෙනඟ සහ ජෙරුසලම්හි පුරවැසියන් වන අපි එනම් 16 අපේ රජවරු ද රජ කුමරුවෝ ද, අපේ පූජකවරු ද අපේ මුතුන්මිත්තන් මෙන් අපේ දිවැසිවරු ද, 17 සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පව් කළ බැවිනුත්, 18 අකීකරු වූ බැවිනුත්, සමිඳාණන් වහන්සේ අප උදෙසා පිළියෙළ කළ, අපට අනුගමනය කිරීමට කී, අපේ දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට අප සවන් නුදුන් බැවිනුත් අද දින ලජ්ජාවට පත් වී සිටිමු. 19 සමිඳාණන් වහන්සේ අපේ මුතුන්මිත්තන් මිසර දේශයෙන් පිටතට ගෙනා දවසේ පටන් අද දක්වා අපි අපේ දෙවි ස්වාමීන් වහන්සේට අකීකරු වූයෙමු. උන් වහන්සේගේ හඬට සවන් දීම ප්‍රතික්ෂේප කොට අපි උන් වහන්සේට පක්ෂපාත නොවී සිටියෙමු. 20 එබැවින් අප අත්දකින දුර්භාග්‍යය ඇති වී ඇත්තේ කිරෙන් සහ මීපැණියෙන් ඉතිරී යන දේශයක් දෙනු පිණිස සමිඳාණන් වහන්සේ අපේ පියවරුන් මිසර දේශයෙන් පිටතට ගෙනා දවසේ දී, උන් වහන්සේගේ සේවක මෝසෙස් ලවා උන් වහන්සේ දුන් දණ්ඩනයේ සාපය අප පිටට පැමිණ ඇති බැවිනි. 21 උන් වහන්සේ අප වෙත එවූ ඒ දිවැසිවරයන්ගේ සියලු පණිවුඩ නොසලකා, අපි අපේ දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට සවන් නොදී සිටියෙමු. 22 එහෙත්, අපි සියල්ලෝ ම අපේ නපුරු සිත්වල හටගත් චේතනා ක්‍රියාත්මක කරමින් බොරු දෙවි දේවතාවන් හට වැඳුම්පිදුම් කරමින් අපේ දෙවි ස්වාමීන් වහන්සේට අප්‍රසන්න වන දේ කෙළෙමු.

Suba Asna - සුබ අස්න

FREE
VIEW