පෙබරවාරි 08 වන දින සුබ අස්න – ශු. මාක් 7: 14 – 23

14 උන් වහන්සේ යළිත් සමූහයා තමන් වෙතට කැඳවා, ”ඔබ හැම මට සවන් දී තේරුම්ගන්න. 15 පිටතින් මිනිසා තුළට පිවිස ඔහු කෙලෙසිය හැකි, කිසි දෙයක් නැත. මිනිසා තුළින් නික්මෙන දෙයින් ඔහු කෙලෙසනු ලබයි; 16 සවන් ඇත්තෝ සවන් දෙත් වා”යි කී සේක. 17 උන් වහන්සේ සමූහයා කෙරෙන් වෙන් ව ගෙට පිවිසි කල ශ්‍රාවකයෝ ඒ උපමාව ගැන උන් වහන්සේගෙන් විචාළහ. 18 උන් වහන්සේ පිළිතුරු දෙමින්, ”ඔබත් වෙන අය සේ ම අවබෝධයක් නැති ව සිටින්නහු ද? පිටතින් මිනිසා තුළට පිවිසෙන කවර දෙයක් වත්, 19 ඔහුගේ උදරයට මිස හෘදයට ඇතුළු නොවී පහ ව යන බැවින්, ඔහු කෙලෙසන්නට අපොහොසත් බව ඔබට තේරෙන්නේ නැද්දැ”යි ඇසූ සේක. මෙසේ කීමෙන්‍ උන් වහන්සේ සියලු ආහාර වර්ග පවිත්‍ර බව ප්‍රකාශ කළ සේක. 20 තවදුරටත් උන් වහන්සේ කතා කරමින්, ”එහෙත්, මිනිසා කෙලෙසනු ලබන්නේ ඔහු තුළින් නිකුත් වන දෙයින් ම ය. 21 ඇතුළතින්, එනම්, මිනිස් හදවතින්, නපුරු චේතනා, කාම රාග, සොරකම්, මිනී මැරුම්, 22 සල්ලාලකම්, තණ්හා, දුෂ්ටකම්, වංචා, හිරි ඔතප් නැති බව, ඊර්ෂ්‍යාව, අපහාසය, අහංකාරය සහ මෝහය නික්මෙයි. 23 මෙකී සියලු නපුරු දේ ඇතුළතින් නික්ම ඒවායින් මිනිසා කෙලෙසනු ලැබේ ය”යි වදාළ සේක.

Suba Asna - සුබ අස්න

FREE
VIEW