ප්‍රේම ගී හෙවත් සලමොන්ගේ ගී – 7 වන පරිච්ඡේදය –

පෙම්වතා

1 රාජ කුමරුවාණන්ගේ දියණියනි, වහන් ලා ගත් ඔබේ පා සඟළ කෙතරම් මනහර ද?
ඔබේ කලවා සන්ධි කලා ශිල්පියෙකුගේ කෘතියක් වැනි ය.
2 ඔබේ නාභිය මිදියුස පිරුණු, වටකුරු පාත්‍රයක් වැනි ය.
ඔබේ උදරය මානෙල් මලින් වට වූ තිරිඟු ගොඩක් වැනි ය.
3 ඔබේ පියයුරු නිවුන් මුව පැටවුන් දෙදෙනෙකු වැනි ය.
4 ඔබේ ගෙල ඇත්දත් කුළුණක් වැනි ය.
ඔබේ ඇස් හෙෂ්බොන් නුවරෙහි බැත්-රබ්බිම් දොරටුව ළඟ තිබෙන පොකුණ වැනි ය.
ඔබේ නාසය දමස්කය මුර කරන ලෙබනොන් කොත වැනි ය.
5 ඔබ ඔසවාගෙන සිටින හිස කර්මෙල් කන්ද වැනි ය.
ඔබේ ගොතන ලද වරලස රත්නිල් කෙඳි වැනි ය.
රජ තෙමේ ඒ කෙස් කළඹින් වසඟ වී සිටියි.
6 එම්බා සොඳුරිය, ප්‍රීතිය වඩවන්න ඔබ කොපමණ ශෝභන ද?
ඔබේ ප්‍රේමය ප්‍රියජනක ය.
7 මේ ඔබේ උස ප්‍රමාණය තල් ගසකටත්, ඔබේ පියයුරු මිදි පොකුරුවලටත් සමාන ය.
8 ‘මම තල් ගසට නැඟී එහි අතු අල්ලන්නෙමි’යි කීමි.
ඔබේ පියයුරු මිදි පොකුරු මෙන් ද ඔබේ හුස්මේ සුවඳ ජම්බු මෙන් ද
9 ඔබේ මුඛය ඉතා අනගි මිදියුස මෙන් ද වේ වා!
ඒ මිදියුස මා පෙම්වතා වෙත ඔහුගේ දෙතොල් පිටත්, දත් පිටත් ගලා යේ වා!

පෙම්වතී

10 මම මාගේ පෙම්වතාගේ ය;
ඔහුගේ ආශාව ද මා කෙරෙහි ය.
11 මාගේ පෙම්වත, එන්න, අපි පිටිසරට ගොස්, ගම්වල නැවතී සිටිමු.
12 අපි අලුයම නැඟිට මිදි වතුවලට ගොස්, මිදි වැල් දලු ලා මල් පිපුණේ ද දෙළුම් ගස්වල මල් පිපී තිබේ ද කියා බලමු.
එහි දී මාගේ ප්‍රේමය ඔබට පිරිනමන්නෙමි.
13 දුදා ඵල සුවඳක් විහිදුවයි.
අපේ දොරටු ළඟ අලුත් ද පරණ ද සියලු ආකාර අනර්ඝ පලතුරු ඇත.
මාගේ පෙම්වත, ඒවා ඔබ උදෙසා තබාගතිමි.

Suba Asna - සුබ අස්න

FREE
VIEW