නික්මයාම – 5 වන පරිච්ඡේදය –

මෝසෙස් පාරාවෝ බැහැදැකීම

1 ඉන්පසු මෝසෙස් ද ආරොන් ද පාරාවෝ වෙත පැමිණ, ” ‘පාළුකරයෙහි මාගේ නාමයෙන් මංගල්‍යයක් පවත්වනු පිණිස මාගේ සෙනඟට යන්න අවසර දෙන්න’ කියා ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ, වදාරන සේකැ”යි කී හ. 2 පාරාවෝ පිළිතුරු දෙමින්, ”සමිඳාණන් වහන්සේ නම් කවරෙක් ද? ඉශ්රායෙල් ජනයාට යන්න අවසර දීමට මා ඒ හඬට අවනත විය යුත්තේ මන් ද? මම සමිඳාණන් වහන්සේ නාඳුනමි. ඉශ්රායෙල් ජනයාට යන්න මා අවසර දෙන්නේ නැතැ”යි කී ය. 3 ඔව්හු යළි කතා කොට, ”හෙබ්‍රෙව්වරුන්ගේ දෙවියන් වහන්සේ අපට හමු වූ සේක. අපේ දෙවි සමිඳාණන් වහන්සේට පුද පූජා ඔප්පු කරනු පිණිස පාළුකරයට, තුන් දිනක ගමන් දුර යෑමට, කරුණාකර, අපට අවසර දෙන්න, එලෙස නුදුන්නොත් උන් වහන්සේ අපට වසංගතයෙන් හෝ කඩුවෙන් හෝ පහර දෙන සේකැ”යි කී හ. 4 එවිට මිසරයේ රජ ඔවුන් අමතමින්, ”මෝසෙස් සහ ආරොන්, සෙනඟ ඔවුන්ගේ වැඩවලින් ඉවත් කරන්න නුඹලා අදහස් කරන්නේ මක්නිසා ද? බර වැඩට ආපසු යන්නැ”යි කී ය. 5 පාරාවෝ වැඩිදුරටත් කතා කරමින්, ”දැන් මොව්හු දේශීය ජනතාවට වඩා බහුල ව සිටිති. නුඹලා අදහස් කරන්නේ ඔවුන්ගේ බර වැඩ නවත්වා දැමීමට දැ”යි ඇසී ය.

විධායකයන්ට හා නිලධාරීන්ට උවදෙස්

6 ඒ දවසේ ම, පාරාවෝ ජනතාවගේ විධායකයන්ට හා නිලධාරීන්ට අණ කරමින්, 7 ”නුඹලා මෙතෙක් කළ පරිදි ගඩොල් සෑදීම සඳහා මිනිසුන්ට පිදුරු නොදිය යුතුයි. ඔවුන් ම ගොස් පිදුරු සොයාගත යුතුයි. 8 එහෙත්, මේ දක්වා ඔවුන් සෑදූ ගඩොල් ගණන ම තැනිය යුතුයි. ඉන් කිසිවක් අඩු නොකරන්න, ඔව්හු දැන් අලස ය. එබැවින්, ‘අපගේ දෙවියන් වහන්සේට පුද පූජා ඔප්පු කරන්න අපට යන්න දෙන්න’ කියා මොරගසති. 9 තවද, නොනවත්වා ම වැඩ කරන පිණිසත්, වැඩකට නැති කතාවලට කන් නොදෙන පිණිසත් ඔවුන් පිට බර වැඩ පැවරිය යුතු ය”යි කී ය.
10 ජනතාවගේ විධායකයෝ ද නිලධාරීහු ද පිටත් ව ගොස් සෙනඟට කතා කොට, ”පාරාවෝ මෙසේ අණ කොට ඇත. එනම්, ‘මම නුඹලාට පිදුරු නොදෙමි, 11 නුඹලා ම ගොස් පුළුවන් තැන්වලින් පිදුරු සොයාගන්න, හැබැයි, නුඹලාගේ වැඩ කිසිවක් අඩු නොවිය යුතු ය’ කියා කීවේ යැ”යි කී හ. 12 එවිට සෙනඟ පිදුරු නැති නිසා ඉපනැලි එකතු කිරීමට මුළු මිසර දේශයෙහි ම විසිර ගියහ. 13 විධායකයෝ කතා කරමින්, ”පිදුරු තිබුණු කල්හි මෙන් ම නුඹලාට නියමිත දිනපතා වැඩ කොටස සම්පූර්ණ කළ යුතු ය”යි ඔවුන් ඉක්මන් කරවූ හ. 14 තවද, ඔව්හු පාරාවෝගේ විධායකයන් විසින් පත් කරන ලද ඉශ්රායෙල් ජනයාගේ නිලධාරීන්ට පහර දී, ”මෙතෙක් කළ පරිදි ඊයෙත්, අදත් නියමිත ගඩොල් ගණන සාදා නිම නොකළේ මන්දැ”යි ඇසූ හ.

හෙබ්‍රෙව් නිලධාරීන්ගේ පැමිණිලි

15 එවිට ඉශ්රායෙල් ජනයාගේ නිලධාරීහු පාරාවෝ වෙත ගොස් පැමිණිලි කරමින්, ”ඔබේ දාසයන්ට ඔබ මෙසේ කරන්නේ මන් ද? 16 ඔබ ඔවුන්ට පිදුරු සපයන්නේත් නැත; එහෙත්, ‘පිදුරු නැති ව ගඩොල් සාදන්නැ’යි අපට කීම හරි පුදුම කීමකි. ඔව්හු ඔබේ දාසයන්ට පහර දෙති. එහෙත්, වරද ඇත්තේ ඔබේ ම සෙනඟ අතේ නොවේ දැ”යි ඇසූ හ. 17 එවිට පාරාවෝ කතා කොට, ”නුඹලා අලස ය, කම්මැලි ය, ‘අපි ගොස් සමිඳාණන් වහන්සේට පුද පූජා ඔප්පු කරමු’යි නුඹලා කියන්නේ ඒ නිසා ය. 18 දැන් ඉතින් වැඩට ආපසු පලයව්; නුඹලාට කොහෙත් ම පිදුරු සපයනු නොලැබේ. එහෙත්, නියමිත ගඩොල් ගණන බාර දිය යුතු ම ය”යි කී ය.
19 ‘නුඹලා දිනපතා සෑදිය යුතු ගඩොල් ගණනින් කිසිවක් අඩු නොකළ යුතු ය’යි පාරාවෝ කී පසු, ඉශ්රායෙල් ජනයාගේ නිලධාරීහු තමන්ට අපල කාලයක් උදා වී තිබෙන බව දුටහ. 20 ඔවුන් පාරාවෝ වෙතින් ආපසු එන විට, ඔවුන් එන තෙක් අතර මඟ බලා සිටි මෝසෙස් සහ ආරොන් හමු වී, 21 ”සමිඳාණන් වහන්සේ ඔබ වෙත බැල්ම හෙළා, ඔබට දඬුවම් කරන සේක් වා! මන්ද ඔබ, පාරාවෝ සහ ඔහුගේ නිලධාරීන් ඉදිරියෙහි අප පිළිකුලක් කොට මරාදමනු පිණිස ඔබ ඔවුන්ගේ අත්වලට කඩුවක් දුන්නහු ය”යි ඔව්හු කීවෝ ය.

මෝසෙස්ගේ යැදුම

22 මෝසෙස් සමිඳාණන් වහන්සේ වෙත ආපසු ගොස්, ”ස්වාමීනි, ඔබ වහන්සේ මේ සෙනඟට මෙතරම් දරුණු ලෙස ක්‍රියා කරන්නේ මන් ද? ඔබ වහන්සේ මා යැව්වේ කුමක්නිසා ද? 23 මා පාරාවෝ වෙත ගොස් ඔබේ නාමයෙන් කතා කළ දවසේ පටන් ඔහු මේ සෙනඟට පීඩා කරයි. ඔබ වහන්සේ ද ඔබ සෙනඟ මුදාලීමට කිසි ම දෙයක් කර නැතැ”යි කීවේ ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW