නික්මයාම – 37 වන පරිච්ඡේදය –

ගිවිසුම් කරඬුව සෑදීම
(නික්ම: 25:10-22)

1 බෙශලෙල් ද ෂිටිම් ලීයෙන් ගිවිසුම් කරඬුව සෑදී ය. එහි දිග සෙන්ටිමීටර් එකසිය දහයක් ද පළල සෙන්ටිමීටර් හැටහයක් ද උස සෙන්ටිමීටර් හැටහයක් ද විය. 2 එහි ඇතුළත ද පිටත ද රන් ආලේප කොට එය වටේට රන් ලීස්තරයක් සෑදී ය. 3 එය උසුලාගෙන යනු පිණිස එහි කොන් සතරට රත්රන් වළලු සතරක් සාදා ඒවා එක පැත්තක දෙක බැගින් දෙපැත්තේ සවි කෙළේ ය. 4 පසුව ඔහු ෂිටිම් ලීයෙන් පොලු සාදා ඒවායේ ද රන් ගා, 5 කරඬුව උසුලාගෙන යනු පිණිස කරඬුවේ දෙපැත්තේ මුදු තුළින් ඒවා දැමී ය. 6 කරුණාසනය ද තනි රනින් සෑදී ය. එහි දිග සෙන්ටිමීටර් එකසිය දහයක් ද පළල සෙන්ටිමීටර් හැටහයක් ද විය. 7 තවද, ඔහු කරුණාසනයේ දෙකෙළවරේ එක්කෙනා බැගින් සවි කරනු පිණිස තළාපු රනින් කෙරුබ්වරුන් දෙදෙනෙකු නිර්මාණ කෙළේ ය. 8 කරුණාසනය සමඟ ඒකාබද්ධ ව පවතින ලෙස එක් කෙනෙකු එක් කොනක ද එක් කෙනෙකු අනිත් කොනේ ද ඔහු ඔවුන් සෑදී ය. 9 කෙරුබ්වරුන්ගේ ද පියාපත් උඩට විහිදී, කරුණාසනයට ඉහළින් එය වසා ගත්තාක් මෙන් තිබිණි. තවද, ඔවුන් එකිනෙකා මුහුණට මුහුණ ලා සිටින පරිදි කරුණාසනය දෙසට ඔවුන්ගේ මුහුණු හැරී තිබිණි.

මේසය සෑදීම
(නික්ම: 25:23-30)

10 ෂිටිම් ලීයෙන් ඔහු මේසය ද සෑදී ය. එහි දිග සෙන්ටිමීටර් අසූඅටක් ද පළල සෙන්ටිමීටර් හතළිස්හතරක් ද උස සෙන්ටිමීටර් හැටහයක් ද විය. 11 එය ද රනින් ආලේප කොට එහි රනින් ලීස්තරයක් ද ඔහු සෑදී ය. 12 එය වටේට මිලිමීටර් හැත්තෑපහක් පළල පටියක් සවි කර, එය වටේ ද රන් ලීස්තරයක් සෑදී ය. 13 පසුව රන් වළලු සතරක් සාදා කකුල් සතරේ කොන් සතරේ ඒවා දැමී ය. 14 මේසය උසුලාගෙන යෑම සඳහා දමන පොලු රිංගවන වළලු, පටිය ළඟ ම තිබිණි. 15 මේසය උසුලාගෙන යෑම සඳහා පොලු ද ෂිටිම් ලීයෙන් සාදා ඒවායේ ද රන් ආලේප කෙළේ ය. 16 එහි තබන තැටි ද කුසලාන ද බුජම් ද පානීය පඬුරු දැමීමට ගන්නා පාත්‍ර ද ඔහු තනි රනින් සෑදී ය.

පහන් රුක සෑදීම
(නික්ම: 25:31-40)

17 තවද, ඔහු පහන් රුක ද තනි රනින් සෑදුවේ ය. එහි අඩිය ද කඳ ද තළාපු රනින් නිමවා, එහි මල් ද මොට්ටු ද මල් පෙති ද එක වස්තුවක් වන සේ සම්බන්ධ කෙළේ ය. 18 පහන් රුකේ එක පැත්තකින් අතු තුනක් ද අනික් පැත්තෙන් අතු තුනක් ද බැගින්, එහි පැතිවලින් අතු හයක් විහිදිණි. 19 එක අත්තක කොට්ටම්බා වැනි මල් තුනක් ද මොට්ටු හා පෙති ද අනික් අත්තේ කොට්ටම්බා වැනි මල් තුනක් ද මොට්ටු හා පෙති ද බැගින් පහන් රුකින් විහිදෙන අතු හයේ ම එලෙස කෙළේ ය. 20 පහන් රුක් කඳේ කොට්ටම්බා වැනි මල් හතරක් ද ඒවායේ මොට්ටු ද මල් පෙති ද තිබිණි. 21 පහන් රුකේ අතු දෙකක් යට එක මල් මොට්ටුවක් ද තවත් අතු දෙකක් යට තව මල් මොට්ටුවක් ද අනිත් අතු දෙක යට තව මල් මොට්ටුවක් ද බැගින් ඉන් විහිදී ගිය අතු හයෙහි එලෙස කෙළේ ය. 22 මොට්ටු සහ අතු, පහන් රුක සමඟ ඒකාබද්ධ ව තිබිණි. සියල්ල ම තැළූ තනි රනින් නිම කරන ලදී. 23 තවද, ඔහු ඊට පහන් හතක් ද, පහන් තිර හා තැටි ද තනි රනින් සෑදී ය. 24 පහන් රුක හා එහි සියලු උපකරණ තනි රත්රන් කිලෝග්‍රෑම් තිස්පහකින් සාදන ලදී.

දුම් පූජාසනය සෑදීම
(නික්ම: 30:1-5)

25 තවද, ඔහු ෂිටිම් ලීයෙන් දුම් පූජාසනයක් සෑදීය. එය දිගින් සෙන්ටිමීටර් හතළිස්පහක් ද පළලින් සෙන්ටිමීටර් හතළිස්පහක් ද උසින් සෙන්ටිමීටර් අනූවක් ද වූ හතරැස් එකක් විය. එහි කොන්වල වූ අං ද පූජාසනයට පාස්සා තිබිණි. 26 එහි මතුපිට ද හතර පැත්ත ද අං ද තනි රනින් ආලේප කොට, ඔහු එය වටේට රන් ලීස්තරයක් ද සෑදී ය. 27 තවද එය උසුලාගෙන යන පිණිස පොලු රිංගවනු සඳහා එහි දෙපැත්තේ දෙකෙළවරේ ලීස්තරය යට රන් වළලු දෙකක් ඔහු සවි කෙළේ ය. 28 පොලු ද ඔහු ෂිටිම් ලීයෙන් සාදා ඒවා රනින් ආලේප කෙළේ ය.

ආලේප තෛලය සහ සුවඳ ද්‍රව්‍ය සෑදීම
(නික්ම: 30:22-38)

29 තවද, සුවඳ ද්‍රව්‍ය සංයෝගකරුවෙකුගේ ශාස්ත්‍රය අනුව ඔහු සුගන්ධ ද්‍රව්‍ය ගෙන ශුද්ධ ආලේප තෛලය හා පිරිසිදු සුවඳ ද්‍රව්‍ය සංයෝගය කෙළේ ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW