නික්මයාම – 31 වන පරිච්ඡේදය –

ශුද්ධස්ථානය ඉදි කිරීමට ශිල්පීන්
(නික්ම: 35:30-36:1)

1 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: 2 ”බලන්න, මම ජුදාගේ ගෝත්‍රයේ හුර්ගේ පුත්‍රයා වන උරීගේ පුත් බෙශලෙල් තෝරා ගතිමි. 3 තවද, මම ඔහු දේවාත්මානුභාවයෙන් ද නන්වැදෑරුම් නිර්මාණ ශිල්පය පිළිබඳ දක්ෂතාවෙන් ද හැකියාවෙන් ද අවබෝධයෙන් ද පූර්ණ කෙළෙමි. 4 මා එසේ කෙළේ ඔහුට කලාත්මක සැලසුම් පිළියෙළ කිරීමටත්, රන් රිදී හා ලෝකඩයෙන් වැඩ කිරීමටත් 5 මැණික් ගල් කැපීමටත්, ඒවා එබ්බවීමටත්, ලීයෙන් කැටයම් වැඩ කිරීමටත්, නන්වැදෑරුම් නිර්මාණ ශිල්ප කිරීමටත් හැකි වනු පිණිස ය. 6 තවද, මම ඔහුගේ සහායට දාන්ගේ ගෝත්‍රයේ අභිසාමක්ගේ පුත්, ඔහොලියාබ් පත් කෙළෙමි. ඇරත් මා නුඹට අණ කළ සියල්ල ඔවුන් සාදන ලෙස දක්ෂ සියල්ලන්ට විශිෂ්ට හැකියාව දුන්නෙමි. 7 නුඹට සෑදීමට අණ කළ ඒවා නම් සම්මුඛ මණ්ඩපය, ගිවිසුම් කරඬුව, එය මත ඇති කරුණාසනය, මණ්ඩපයේ සියලු බඩු බාහිරාදිය, 8 මේසය සහ එහි බඩු බාහිරාදිය, ඝන රන් පහන් රුක හා එහි සියලු උපකරණ, දුම් පූජාසනය, 9 දවන යාග පූජාසනය හා එහි සියලු බඩු බාහිරාදිය, වතුර භාජනය සහ එහි අඩිය, 10 විචිත්‍ර වස්ත්‍ර වන පූජක නිලයේ සේවා කිරීම සඳහා පූජක ආරොන්ගේ ශුද්ධ වස්ත්‍ර සහ ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍ර, 11 ආලේප තෛලය සහ ශුද්ධස්ථානය සඳහා සුවඳ දුම් වේ. මා නුඹට අණ කළ සියල්ල අනුව ඒවා ඉටු කළ යුතු ය.”

සබත් දිනය

12 නැවතත් සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතමින්, 13 ”නුඹ ඉශ්රායෙල් ජනයාට මෙසේ කියන්නැ”යි වදාළ සේක: ”මාගේ සබත් දවස් නුඹලා හොඳින් පිළිපැදිය යුතු යි. මන්ද, ඒවා වනාහි නුඹලා ශුද්ධවන්ත කරවන, සමිඳාණන් වහන්සේ මා බව නුඹලා දැනගනු පිණිස නුඹලාත්, මාත් අතර, නුඹලාගේ පෙළපත් තුළ පිහිටුවන ලද ලකුණකි. 14 එබැවින් නුඹලා සබත් දිනය පිළිපැදිය යුතු ය. එය නුඹලාට ශුද්ධ දිනයක් විය යුතු ය. එය කෙලෙසන සෑම කෙනෙක් මරණයට පත් කරනු ලැබිය යුතු වේ. තවද, එම දවසේ වැඩ කරන සෑම කෙනෙක් ම, සිය සෙනඟ අතරින් නෙරපාදමනු ලැබිය යුතු ය. 15 දවස් හයක් තුළ වැඩ කළ හැක, එහෙත් හත් වන දින, සමිඳාණන් වහන්සේ වන මට වෙන් කළ නිවාඩුවේ සබත් දිනය යි. සබත් දින වැඩ කරන සෑම කෙනෙක් ම මරණයට පත් කරනු ලැබිය යුතු වේ. 16 එබැවින් ඉශ්රායෙල් ජනයා තමන්ගේ පෙළපත් තුළ සදාතන ගිවිසුමක් හැටියට, සබත පවත්වමින් එය පිළිපැදිය යුතු ය. 17 එය මාත්, ඉශ්රායෙල් ජනයාත් අතර සදා පවතින ලකුණකි. මන්ද, සමිඳාණන් වහන්සේ වන මම දින හයක් තුළ අහස හා පොළොව ද සාදා, හත් වන දින වැඩ නවතා, නිවාඩු ගත්තෙමි’ කියා කියන්න.” 18 උන් වහන්සේ සීනයි කන්ද මත මෝසෙස් සමඟ කතා කොට නිම කළ පසු, දේව ඇඟිල්ලෙන් ලියන ලද ගල් පුවරු වන ගිවිසුම් පුවරු දෙක ඔහුට දුන් සේක.

Suba Asna - සුබ අස්න

FREE
VIEW