නික්මයාම – 25 වන පරිච්ඡේදය –

ශුද්ධස්ථානය සඳහා පඬුරු
(නික්ම: 35:4-9)

1 සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, මෙසේ වදාළ සේක: 2 ”මට පඬුරක් ගෙනෙන ලෙස ඉශ්රායෙල් ජනයාට කියන්න. සිය කැමැත්තෙන් ම දෙන සෑම දෙනාගෙන් ම නුඹ ඒ පඬුරු ගත යුතු ය. 3 ඔවුන්ගෙන් ගත යුතු පඬුරු නම් රන්, රිදී සහ ලෝකඩ ද, 4 නිල් පාට, දම් පාට සහ තද රතු පාට නූල් ද, සිහින් හණ රෙදි හා එළු ලොම් ද, 5 රතු සායම් පෙවූ බැටළු හම්, පදම් කළ හම් සහ ෂිටිම් යන ලී ද, 6 පහන්වලට තෙල් ද, ආලේප තෛලයට හා සුවඳ දුම් පූජාව සඳහා සුගන්ධ ද්‍රව්‍ය ද, 7 ඒපොද් නම් ශුද්ධ වස්ත්‍රය සහ ළය වැස්ම සඳහා නබමාණික්‍ය හා වෙනත් මැණික් ද යන මේවා ය. 8 තවද, නුඹලා අතර වාසය කිරීම පිණිස මට ඔවුන් ශුද්ධස්ථානයක් සෑදිය යුතු ය. 9 මා නුඹට පෙන්වන සැලැස්ම අනුව මණ්ඩපය ද එහි සියලු උපකරණ ද සෑදිය යුතු ය.”

ගිවිසුම් කරඬුව
(නික්ම: 37:1-9)

10 ”තවද, ඔවුන් ෂිටිම් ලීයෙන් සෙන්ටිමීටර් එකසිය දහයක් දිග, සෙන්ටිමීටර් හැටහයක් පළල, සෙන්ටිමීටර් හැටහයක් උස කරඬුව සෑදිය යුතු ය. 11 එහි ඇතුළත ද පිටත ද තනි රත්රනින් ආලේප කොට, එය වටා රන් ලීස්තරයක් සෑදිය යුතුයි. 12 තවද, එය සඳහා රන් වළලු හතරක් වාත්තු කොට, එක පැත්තකට වළලු දෙකක් ද අනික් පැත්තට වළලු දෙකක් ද බැගින් එහි කකුල් හතරේ ඒවා දැමිය යුතු ය. 13 ෂිටිම් ලීයෙන් පොලු සාදා ඒවා රනින් ආලේප කොට 14 කරඬුව උසුලාගෙන යන පිණිස එහි දෙපැත්තේ ඇති වළලු තුළට ඒ පොලු දැමිය යුතු ය. 15 කරඬුවේ වළලු තුළ ම පොලු තිබෙන්නට හැරිය යුතු ය. ඒවා එයින් ඉවත් නොකළ යුතු ය. 16 පසුව මා නුඹට දෙන සාක්ෂි ගල් පුවරු දෙක එම කරඬුවේ තැන්පත් කළ යුතු ය.
17 ”තවද, නුඹ සෙන්ටිමීටර් එකසිය දහයක් දිග, සෙන්ටිමීටර් හැටහයක් පළල කරුණාසනයක් තනි රත්රනින් සෑදිය යුතු ය. 18 කරුණාසනයේ දෙකෙළවරෙහි රනින් තළා සෑදු කෙරුබ්වරුන් දෙදෙනෙකු වාත්තු කළ යුතු ය. 19 එක කෙළවරක එක කෙරුබ්වරයෙක් ද අනික් කෙළවරේ අනික් කෙරුබ්වරයා ද සිටින සේ කරුණාසනය සමඟ එකක් වන සේ ඔවුන් සවිකර එහි දෙකෙළවරෙහි තැබිය යුතු ය. 20 කෙරුබ්වරුන්ගේ පියාපත් ද උඩට විහිදී කරුණාසනයට ඉහළින් එය වසා සිටින සේ තිබිය යුතු ය. ඔවුන් එකිනෙකා මුහුණට මුහුණ ලා බලා සිටින්නාක් මෙන්, කරුණාසනය දෙසට ඔවුන්ගේ මුහුණු ද හරවා තිබිය යුතු ය. 21 තවද, නුඹ කරඬුව මත කරුණාසනය තබා, කරඬුව තුළ, මා නුඹට දෙන සාක්ෂි ගල් පුවරු දෙක තැන්පත් කළ යුතු ය. 22 මම ද එහි දී නුඹ හමුවෙමි. කරුණාසනයට ඉහළින් ගිවිසුම් කරඬුව මත සිටින කෙරුබ්වරුන් දෙදෙන මැදින්, ඉශ්රායෙල් ජනයා සඳහා සියලු ආඥා මම නුඹට දන්වන්නෙමි.”

පිදූ රොටි තබන මේසය
(නික්ම: 37:10-16)

23 ”තවද, ෂිටිම් ලීයෙන්, සෙන්ටිමීටර් අසූඅටක් දිග, සෙන්ටිමීටර් හතළිස්හතරක් පළල, සෙන්ටිමීටර් හැටහයක් උස මේසයක් සෑදිය යුතු ය. 24 එය තනි රත්රනින් ආලේප කොට එය වටේට රන් ලීස්තරයක් සෑදිය යුතු ය. 25 තවද, එය වටේට මිලිමීටර් හැත්තෑපහක් පළල ඇති පටියක් සවි කොට, එය වටා රන් ලීස්තරයක් සෑදිය යුතු වේ. 26 රන් වළලු සතරක් ද සාදා මේසයේ කකුල් සතරේ කොන් සතරෙහි ඒවා දැමිය යුතු ය. 27 මේසය උසුලාගෙන යෑම සඳහා පොලු දමන වළලු, පටිය ළඟ ම තිබිය යුතු යි. 28 පොලු ද ෂිටිම් ලීයෙන් සාදා, රනින් ආලේප කළ යුතු ය. මේසය මේවායේ ආධාරයෙන් උසුලාගෙන යා යුතු ය. 29 එහි තබන තැටි ද කුසලාන ද කෙණ්ඩි ද පානීය පූජා දැමීමට ගන්න පාත්‍ර ද තනි රත්රනින් සෑදිය යුතු ය. 30 තවද, නුඹ නිතර ම පිදුම් රොටි මා ඉදිරියෙහි මේසය උඩ තැබිය යුතු වේ.”

පහන් රුක
(නික්ම: 37:17-24)

31 ”තවද, නුඹ තනි රත්රන් පහන් රුකක් සෑදිය යුතු ය. එහි අඩිය ද කඳ ද තැළූ රනින් තැනිය යුතු වේ. එහි මල් ද මල් කැකුළු ද මල් පෙති ද ඊට පෑස්සු එක වස්තුවක් විය යුතු ය. 32 පහන් රුකේ එක පැත්තක අතු තුනක් ද අනික් පැත්තේ අතු තුනක් ද බැගින් එහි පැතිවලින් අතු හයක් විහිදී යා යුතු ය. 33 එක් අත්තක කොට්ටම්බා වැනි මල් තුනක් ද මල් කැකුළු හා මල් පෙති ද අනික් පැත්තේ කොට්ටම්බා වැනි මල් තුනක් ද මල් කැකුළු හා මල් පෙති ද බැගින් පහන් රුකින් විහිදෙන අතු හයේ ම එලෙස ම විය යුතු ය. 34 පහන් රුකෙහි ද කොට්ටම්බා වැනි මල් හතරක් ද ඒවායේ මල් කැකුළු හා මල් පෙති ද විය යුතු ය. 35 පහන් රුකෙහි අතු දෙකක් යට එක මල් කැකුළක් ද තවත් අතු දෙකක් යට එක මල් කැකුළක් ද අනික් අතු දෙක යට මල් කැකුළක් ද බැගින් ඉන් විහිදී යන අතු හයේ ම එසේ විය යුතු ය. 36 මල් කැකුළු සහ අතු පහන් රුක සමඟ ඒකාබද්ධ ව තිබිය යුතු යි. සියල්ල ම තැළූ තනි රනින් කළ කර්මාන්තයක් විය යුතු ය.
37 ”නුඹ ද පහන් රුක සඳහා පහන් හතක් සාදා, ඒවායේ එළිය ඉදිරියට වැටෙන සේ පහන්වල ආලෝකය සකස් කළ යුතු ය. 38 පහන් කතුරු ද ඒවායේ තැටි ද රනින් විය යුතු ය. 39 පහන් රුක සහ සියලු බඳුන් තැනීම සඳහා තනි රන් කිලෝග්‍රෑම් තිස්පහක් පාවිච්චි කළ යුතු ය. 40 කන්දේ දී නුඹට පෙන්වූ සැලැස්ම අනුව මේවා සෑදීමට වග බලාගත යුතු ය.”

Suba Asna - සුබ අස්න

FREE
VIEW