ධර්මදේශකයා – 1 වන පරිච්ඡේදය –

ජීවිතයේ නිස්සාරකම

1 ජෙරුසලමෙහි දාවිත් නිරිඳාණන් පුත් ධර්මදේශකයාගේ අනුශාසනාව මේ ය: 2 ”සියල්ල නිස්සාර ය; සියල්ල නිස්සාර ය. හැම දෙය ම නිස්සාර ය”යි ධර්මදේශකයා පවසයි. 3 මිනිසාගේ ශ්‍රමයෙන්, මුළු මිනිස් ලොවේ ශ්‍රමයෙන් කිසි වැඩක් ඇද් ද? 4 එක පරපුරක් පහ ව යයි; තව පරපුරක් මතු වෙයි; එහෙත්, මහ පොළොව සදහට ම පවතියි. 5 හිරු උදා වෙයි, හිරු බැස යයි; එය උදා වූ තැනට ම යළිදු වහා පැමිණෙයි. 6 සුළඟ දකුණ බලා හමයි, සුළඟ උතුර බලා හමයි; එය කැරකි කැරකී හමයි. වටරවුමෙහි හමා ගොස් නැවත මුල් තැනට ම පැමිණෙයි. 7 සියලු ගංගා මුහුදට ගලා බසියි. එහෙත්, මුහුද පිරෙන්නේ නැත; ගංගා නික්ම ආ තැනට ම නැවත වතුර යයි. 8 හැම දෙය ම වෙහෙස ගෙන දෙන සුළු ය. එය කියා නිම කළ නොහැකි වෙහෙසකි. දැකීමෙන් ඇස තෘප්තියට නොපැමිණෙයි; ඇසීමෙන් කන තෘප්තියට නොපැමිණෙයි. 9 මතු ඇති වන්නේ පෙර තිබුණු දේ ම ය; මතු කරන්න තිබෙන්නේත් පෙර කළ දේ ම ය. මේ මුළු මිනිස් ලොවෙහි කිසි ම අමුතු දෙයක් නැත. 10 ”මෙන්න, මෙය අමුතු දෙයකැ”යි මිනිස්සු කියති. එහෙත්, එය අප උපදින්නටත් පෙර සිදු වූවකි. 11 යටගිය දවස සිදු වූ දෙය ගැන මතකයක් නැත; මෙතැන් සිට සිදු වන දෙය ගැන ද මතු දවසේ දී මතකයක් නොවනු ඇත.

ධර්මදේශකයාගේ අත්දැකීම

12 ධර්මදේශකයා වන මම ජෙරුසලමෙහි සිහසුන් අරා ඉශ්රායෙල් ජනතාව පාලනය කෙළෙමි. 13 මේ මිනිස් ලොවෙහි සිදු වන හැම දෙය ම ප්‍රඥා ඇසින් විමසා බැලීමට මාගේ සිත යොමු කෙළෙමි.
දෙවියන් වහන්සේ මිනිසාට පවරා ඇති ඒ කටයුත්ත කෙතරම් කරදර සහිත ද? 14 මේ මුළු මිනිස් ලොවේ කෙරෙන හැම දෙය මම දිටිමි; ඒ හැම දෙය ම නිස්සාර ය; සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමක් වැන්න. 15 ඇද දේවල ඇද අරින්නට නොහැකි ය; නැති දේ ගණින්නට නොහැකි ය.
16 ”මට පළමු ව ජෙරුසලමෙහි රජ කළ සියල්ලන්ට වඩා ගාම්භීර ප්‍රඥාව මට ඇත. එසේ ය, ප්‍රඥාව හා අවබෝධය හොඳට හුරු පුරුදු යැ”යි මම මට ම කියාගතිමි. 17 මෙසේ එක අතකින් ප්‍රඥාව හා අවබෝධය ද අනික් අතින් මෝහය හා අඥානකම ද තේරුම් ගැනීමට අවධානය යෙදුවෙමි. එය ද සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමක් මෙන් විය. 18 මන්ද, ප්‍රඥාව වැඩි වෙත්ම කරදර ද වැඩි වේ; දැනුම වැඩි වෙත්ම ශෝකය වැඩි වේ.

Suba Asna - සුබ අස්න

FREE
VIEW