දෙසැම්බර් 04 වන දින සුබ අස්න : ශු. මතෙව් 3: 1-12

1 ඒ දවස්වල දී ස්නාවක ජොහන් අවුත්, ජුදයේ පාළුකරයෙහි දේශනා කරමින්, 2 ”පසුතැවී සිත් හරවා ගන්න; මන්ද, ස්වර්ග රාජ්‍යය ළඟ ය”යි කී ය. 3 කුමක් හෙයින් ද යත්:” ‘ සමිඳුන්ගේ මාවත පිළියෙළ කරන්න;එතුමන් හට ඇද නැති මාවත් සාදන්නැ’යි පාළුකරයෙහි මොරගා කියන හඬක් ය”යි,දිවැසිවර යෙසායා පැවසුවේ මොහු ගැන ය. 4 මෙකී ජොහන් ඔටු ලොම් වස්ත්‍රයක් ඇඳ, ඉණ වටා හම් පටියක් බැඳ සිටියේ ය. පළඟැටියන් හා වන මී ඔහුගේ ආහාරය විය. 5 එකල ජෙරුසලමේ ද මුළු ජුදයේ ද ජොර්දාන් අවට මුළු පෙදෙසේ ද වැසියෝ ඔහු වෙත පැමිණ, 6 පාපෝච්චාරණය කරමින්, ජොර්දාන් ගංගාවෙහි ඔහු අතින් බව්තීස්ම-ස්නාපනය ලැබූ හ.7 එහෙත්, බව්තීස්ම-ස්නාපනය ලබන පිණිස පරිසිවරුන්ගෙන් ද සද්දුසිවරුන්ගෙන් ද බොහෝ දෙනෙකු එනු දුටු ඔහු ඔවුන්ට කතා කොට, ”පොළොං වංශය, එන්න තිබෙන උදහසින් පලා යාමට ඔබට අවවාද කෙළේ කවරෙක් ද? 8 එසේ නම්, ඔබ පසුතැවී සිත් හරවා ගත් බව ඔබේ හැසිරීමෙන් පෙන්වන්න. 9 ‘ආබ්‍රහම් අපගේ පියාණෝ ය’යි කියාගන්නට නොසිතන්න. ඒ මන්ද, මේ ගල්වලින් වුව ද ආබ්‍රහම්ට දරුපරපුරක් උපදවා දෙන්න දෙවියන් වහන්සේට පුළුවනැ යි මම ඔබට කියමි. 10 තවද, දැනට ම පොරොව ගස් මුල්වලට තබා තිබේ. එබැවින් හොඳ පල නොදෙන සියලු ගස් කපා ගින්නෙහි දමනු ලැබේ. 11 මම නම්, පසුතැවී සිත හරවා ගැනීමේ ලකුණක් වශයෙන් වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කරමි. එහෙත්, මට පසුව එන තැනැත්තේ මට වඩා ආනුභාසම්පන්න ය. මම උන් වහන්සේගේ පාවහන් ගෙන යාමට තරම් වත් නොවටිමි. උන් වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන් ද ගින්නෙන් ද ඔබ බව්තීස්ම-ස්නාපනය කරන සේක. 12 උන් වහන්සේගේ අතෙහි කුල්ල ඇත. උන් වහන්සේ සිය කමත හොඳ හැටි පිරිසිදු කර, ධාන්‍ය අටුවල රැස් කොට, බොල් නොනිවෙන ගින්නෙන් දවන සේකැ”යි කී ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW