දානියෙල් – 3 වන පරිච්ඡේදය –

‍‍දානියෙල්, බෙල් සහ මකරා

දානියෙල් සහ බෙල් දෙවියාගේ පූජකවරු

1 අස්තියාජෙස් නම් රජු මියගිය පසු පර්සියා දේශයේ සයිරස් රාජ පදවියට පත් විය. 2 දානියෙල් ඔහුගේ ඉතා කිට්ටු හිතමිතුරෙක් විය. රජ ද, ස්වකීය අනික් මිතුරන්ට වඩා සැලකිල්ලක් දානියෙල්ට දැක්විය. 3 බබිලෝනියාවේ බෙල් නමැති දෙවි පිළිමයක් විය. දිනපතා ඊට හොඳ පිටි කිලෝග්‍රෑම් තුන් සිය හැටක් ද, බැටළුවන් සතළිස් දෙනෙකු ද මිදියුස පයින්ට් සතළිස් අටක් ද, ඔප්පු කරන ලදී. 4 රජතුමා ද මේ නමස්කාර පිළිවෙතට සහභාගි විය. ඔහු දිනපතා ගොස් ඒ පිළිමයට නමස්කාර කෙළේ ය. එහෙත් දානියෙල් තමාගේ ම දෙවියන් වහන්සේට නමස්කාර කෙළේ ය. 5 රජතුමා දානියෙල් අමතා, ”ඔබ බෙල් පිළිමයට නමස්කාර නොකරන්නේ මන්දැ”යි විචාළේ ය. දානියෙල් ද උත්තර දෙමින්, ”මම මිනිස් අතින් නිමැවූ පිළිමවලට නමස්කාර නොකරමි. අහසත් පොළවත් මවා වදාළ සියලු ජීවමාන මැවිලි කෙරෙහි බලය ඇති ජීවමාන දෙවියන් වහන්සේට නමස්කාර කරමි”යි කී ය. 6 එවිට රජතුමා ඔහුට කතා කොට, ”එසේ නම් බෙල් ජීවමාන දෙවියෙක් කියා ඔබ විශ්වාස නොකරන්නෙහි ද? ඒ දෙවියා දිනපතා කොපමණ කන්නේ ද බොන්නේ ද කියා ඔබට පෙනෙන්නේ නැද්දැ”යි ඇසී ය. 7 දානියෙල් සිනාසී උත්තර දෙමින්, ”රජතුමෙනි, නොරැවටෙන්න. ඒ දෙවියාගේ අභ්‍යන්තරයෙහි ඇත්තේ මැටි ය. පිටත ඇත්තේ ලෝකඩ ය. එබැවින් ඔහු කවදාවත් කිසිවක් කා බී නැතැ”යි කී ය. 8 එවිට රජතෙම කිපී තමාගේ පූජකවරුන් කැඳවා ”මේ ආහාර සියල්ල කන්නේ කවරෙක් ද? එසේ නොකීවොත් ඔබ මරන්නෙමි, බෙල් දෙවියා ඇත්තෙන් ම කෑම කන බව මට ඔප්පු කරන්න. එවිට දානියෙල් ඒ දෙවියාට අපහාස කළ බැවින් මම ඔහු මරන්නෙමි”යි කීවේ ය. 9 දානියෙල් ද රජුට කතා කොට, ”ඔබ කියන පරිදි වේ වා”යි කී ය.
මේ පූජකවරු හැත්තෑ දෙනෙක් වූ හ. ඔවුන්ට භාර්යාවෝ ද, දරුවෝ ද සිටියෝ ය. 10 රජතුමා දානියෙල් කැටුව බෙල්ගේ දේවාලයට ගියේ ය. 11 බෙල්ගේ පූජකවරු රජුට කතා කොට, ”දැන් ඔබ බලාගෙන සිටින විට ම අපි යන්නට යන්නෙමු. එහෙත් රජතුමෙනි, ආහාර පිළියෙළ කොට, මිදියුස සූදානම් කොට ඒවා එහි තැබීම ඔබට ම අපි භාර දෙන්නෙමු. ඉන්පසු ඔබ දොර වසා ඊට ඔබගේ මුද්‍රාව තබන්න. අලුයම ඔබ මෙහි පැමිණෙන විට බෙල් දෙවියා විසින් සියල්ල ම අනුභව නොකර තිබුණහොත් අප මරණයට පත් කළ යුතු ය. එසේ නොවුණොත් අර කේලාම්කාරයා වූ දානියෙල්, මරණයට පත් කළ යුතු ය”යි කීවෝ ය. 12 ඔවුන් මෙසේ කීවේ මේසය යටින් සාදා තිබුණු රහස් දොරටුවකින් ඔවුන් දිනපතා ඇතුළු වී පූජා පඬුරු ගෙන යාමේ පුරුද්ද ගැන ඔවුන් සිතූ නිසා ය. ඔවුන්ගේ බලාපොරොත්තුවක් වූයේ එලෙස කිරීම ය.
13 පූජකවරුන් යන්නට ගිය පසු රජතෙම බෙල් දෙවියාට ආහාර පිළියෙළ කොට තැබී ය. 14 එවිට දානියෙල් ද, තමාගේ සේවකයන්ට කියා අළු ගෙන්වාගෙන ඒ අළු දේවාලයේ බිම සැමතැන ම විසුරුවා හැරියේ ය. රජතුමා හැර වෙන කිසිවෙක් මෙසේ කිරීම දුටුවේ නැත. ඉන්පසු ඔව්හු දොර වසා දොරට රජුගේ මුද්‍රාව තබා ගොඩනැඟිල්ලෙන් පිටත් වී යන්නට ගියහ. 15 එදින රාත්‍රියේ සිරිත් පරිදි පූජකවරු ඔවුන්ගේ අඹුදරුවන් කැටුව පැමිණ, එහි වූ සියල්ල කා බී දැමූ හ.
16 පසු දින අලුයමින් ම රජතුමා අවදි විය. දානියෙල් ද එසේ ම වේලාසනින් නැඟිට්ටේ ය. 17 රජ, දානියෙල් අමතා, ”දානියෙල්, මුද්‍රාවලට අත නොගසා තිබේ දැ”යි ඇසී ය. ”රජතුමෙනි, ඒවාට අත නොගසා ඇතැ”යි ඔහු උත්තර දුන්නේ ය. 18 ඉන්පසු රජතුමා දේවාලයේ දොර හැර මේසය දෙස බැලූ විගස ම මහහඬින් කෑගසා ”බෙල් දෙවියනි, ඔබ ශ්‍රේෂ්ඨ ය, ඔබ තුළ රවටන සුලු ශක්තියක් නැතැ”යි කීවේ ය. 19 එහෙත් දානියෙල් සිනාසුණේ ය. තවද, ඔහු රජතුමා දේවාලය තුළට යාම වළක්වමින් කතා කොට, ”බිම දෙස බලා මේ සටහන් සෝදිසි කරන්නැ”යි කී ය. 20 ”මට මිනිසුන්ගේ ද, ස්ත්‍රීන්ගේ ද, දරුවන්ගේ ද, පා සටහන් පෙනේ”යයි රජ පිළිතුරු දී 21 පූජකවරුන්ගේ අඹුදරුවන් සමඟ ඔවුන් අත්අඩංගුවට ගැනීමට නියම කළේ ය. එවිට ඔව්හු තමන් දේවාලයට ඇතුළු වී මේසය මත වූ දේවල් ගැනීමට පුරුදු වී සිටි රහස් දොරටුව රජුට පෙන්වූ හ. 22 එවිට රජ ඔවුන් මරා දමන ලෙස නියම කළේ ය. තවද, රජතුමා බෙල් දෙවියාගේ පිළිමය දානියෙල්ට බාර දුන් විට ඔහු ඒ පිළිමයත් දේවාලයත් වනසාදැමී ය.

දානියෙල් මකරා මරා දැමීම

23 බබිලෝනියාවේ විශාල මකරෙක් විය. ඌට ද වැඳුම්පිදුම් කරන ලදී. 24 රජතෙම දානියෙල් අමතා, ”මේ මකරා ලෝකඩවලින් නිම කරන ලද එකෙක් කියා නුඹ මට කියන්නට යන්නෙහි ද? බලන්න ඌ පණපිටින් සිටියි. ඌ කයි බොයි, මේ ජීවමාන දෙවියෙකු කියා ඔබට ප්‍රතික්ෂේප කළ නොහැකි ය. එබැවින් ඌට නමස්කාර කරන්නැ”යි කීවේ ය. 25 දානියෙල් පිළිතුරු දෙමින්, ”මාගේ දෙවි ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි. එතුමාණෝ පමණක් ජීවමාන දෙවියන් වහන්සේ ය. රජතුමෙනි, ඔබ මට අවසර දෙන්නෙහි නම් කඩුවක් වත් පොල්ලක් වත් පාවිච්චි නොකර මම මේ සර්පයා මරාදමන්නෙමි”යි කී ය. 26 රජතුමා ද කතා කොට, ”ඔබට මම අවසර දෙමි”යි කී විට 27 දානියෙල් කීල් ටිකක් ද, තෙල් සහ ඉසකේ ටිකක් ද රැගෙන ඒවා එකට දමා තම්බා, ඒ සියල්ල ගුලි කොට අඹරා මකරාට කැවී ය. ඒවා ගිලගත් මකරා පැළී මැරුණේ ය. එවිට දානියෙල් කතා කොට, ”ඔබ නමස්කාර කරන දේවල් දෙස බලන්නැ”යි කීවේ ය. 28 මේ ඇසූ බබිලෝනියාවේ වැසියෝ කො‍්පාවිෂ්ට වී රජුට විරුද්ධ ව උපා යොදන්නට පටන් ගත්හ. ඔව්හු කතා කොට, ”රජු ජුදා ජාතිකයෙක් වී ඇත. එතුමා බෙල් දෙවියා විනාශ කරදැමීමටත්, මකරා මරාදැමීමටත්, පූජකයන් නසා දැමීමටත්, ඉඩ දුන්නේ ය”යි කී හ. 29 ඉන්පසු ඔව්හු රජු වෙත ගොස් ඔහුට කතා කොට, ”අපට දානියෙල් බාර දෙන්න. නැත්නම් අපි ඔබ ද ඔබගේ පවුල ද මරාදමන්නෙමු”යි කීවෝ ය. 30 ඔවුන් ඉතා ඇවිටිලි ව මෙය ඉල්ලූ බැවින් දානියෙල් ඔවුන්ගේ අතට පාවා දීමට රජතුමාට සිදුවිය.

සිංහ ගුහාවේ සිටි දානියෙල්

31 ඔව්හු ද, දානියෙල් රැගෙන සිංහ ගුහාවට වීසි කළහ. ඔහු එහි දවස් හයක් නැවතී සිටියේ ය. 32 ඒ ගුහාව තුළ සිංහයන් හත්දෙනෙක් වූහ. මේ සතුන්ට දිනපතා මිනිස් සිරුරු දෙකක් ද, බැටළුවන් දෙදෙනෙක් ද, දෙන ලදහ. එහෙත් මේ කාලය තුළ දී ඒ සතුන් දානියෙල් කා දමන පිණිස උන්ට කිසිවක් නොදෙන ලදී.
33 ඒ කාලයේ දී හබක්කුක් දිවැසිවරයා ජුදා දේශයේ සිටියේ ය. ඔහු ද මස් හොද්දක් සාදා පාන් කැබලි කර කූඩයකට දමා කෙතේ ගොයම් කපන අය ළඟට රැගෙන යන විට 34 සමිඳාණන් වහන්සේගේ දූතයෙක් ඔහු අමතා, ”ඔබ රැගෙන යන කෑම බබිලෝනියාවට ගෙන ගොස් සිංහ ලෙනේ සිටින දානියෙල්ට දෙන්නැ”යි කීවේ ය. 35 එවිට හබක්කුක් පිළිතුරු දෙමින්, ”සමිඳාණන් වහන්ස මම බබිලෝනියාව කියන දේශය දැකලාවත් නැත. එබැවින් මේ සිංහ ලෙන ගැන කිසිවක් නො දනිමි”යි කීවේ ය. 36 මෙසේ කී පසු සමිඳාණන් වහන්සේගේ දූතයා ඔහුගේ හිසින් අල්ලාගෙන කෙස් රොදින් ඔහු ඩැහැගෙන බබිලෝනියාවට ගෙන ගියේ ය. එහිදී මහා වේගයෙන් සිංහ ලෙන අයිනේ හබක්කුක් සිටෙව්වේ ය. 37 එවිට හබක්කුක් කෑගසමින්, ”දානියෙල්, දානියෙල් දෙවියන් වහන්සේ එවූ කෑම අනුභව කරන්නැ”යි කී ය. 38 දානියෙල් ද පිළිතුරු දෙමින්, ”අහෝ දෙවියනි, ඔබ මා සිහිකළ සේක. ඔබට ප්‍රේමකරන්නන් ඔබ අත් නොහළ සේකැ”යි කීවේ ය. 39 ඉන්පසු ඔහු නැඟිට සිට ආහාර අනුභව කෙළේ ය. දෙවියන් වහන්සේගේ දූතයා ද, විගස හබක්කුක් ආපසු සිය දේශයට හැරලී ය.
40 හත් වන දින රජතුමා දානියෙල් ගැන වැලපෙනු පිණිස ආවේ ය. සිංහ ලෙන ළඟට පැමිණ ඔහු ඇතුළත බලන විට දානියෙල් කලබලයක් නැතිව එහි සිටින බව දිටී ය. 41 එවිට රජතුමා කතා කොට, ”සමිඳාණන් වහන්ස, දානියෙල්ගේ දෙවියන් වහන්ස, ඔබ ශ්‍රේෂ්ඨය, ඔබ හැර අන් දෙවි කෙනෙක් නැතැ”යි ශබ්ද නඟා කීවේ ය. 42 ඉන්පසු රජතුමා සිංහ ලෙනෙන් දානියෙල් පිටතට ගෙන ඔහු මැරීමට උපා යෙදූ අය ඊට වීසි කරන ලදහ. රජු බලා සිටියදීම සැණෙකින් ඔව්හු සතුන් විසින් කාදමන ලදහ.

Suba Asna - සුබ අස්න

FREE
VIEW