දානියෙල් – 2 වන පරිච්ඡේදය –

දානියෙල් සහ සුසන්නා

සුසන්නා දූෂණය කිරීමට විනිසකරුවන්ගේ උත්සාහය

1 බබිලෝනියාවේ ජුවකීම් නමැති මිනිසෙක් ජීවත් විය. 2 ඔහු ඉතා රූමත් කාන්තාවක් වූ හිල්කියාගේ දුව වන සුසන්නා සරණ පාවාගෙන සිටියේ ය. 3 ඇගේ දෙමාපියන් දැහැමි අය වූ බැවින් ද ඔවුන් ඇයට මෝසෙස්ගේ ව්‍යවස්ථාව හොඳින් උගන්වා තිබුණු බැවින් ද, ඈ දෙවියන් වහන්සේට ගරුබිය පාන කාන්තාවක් වුවා ය. 4 ජුවකීම් ඉතා ධනවත් කෙනෙක් වූ බැවින් සිය නිවස යාබද උයනක් ඔහුට තිබිණි. අන් කිසිවෙකුට වඩා ඔහුට සෙනඟ ගරුබුහුමන් කළ බැවින් ජුදෙව්වරු බොහෝ විට ඔහු බැහැදැකීමට පැමිණියහ. 5 ඒ අවුරුද්දේ විනිශ්චයකාරයන් වශයෙන් ක්‍රියා කිරීමට සෙනඟ අතරින් වයසක මිනිසුන් දෙදෙනෙකු තෝරාගෙන තිබිණි. මිනිසුන් හට මඟ පෙන්වන අය මෙන් බොරුවට ඉදිරිපත් වන වයසක අය සහ විනිශ්චයකාරයන් මඟින් බබිලෝනියට දුෂ්ටකම පැමිණියේ යයි සමිඳාණන් වහන්සේ වදාරා ඇත්තේ මොවුන් ගැන ය. 6 ඒ මිනිසුන් දෙදෙනා බොහෝ විට ජුවකීම්ගේ ගෙදර වූහ. නඩු ඉදිරිපත් කිරීමට පැමිණි සියල්ලෝම ඔවුන් වෙත ආහ.
7 මද්දහනේ දී සියලු දෙන ඉවතට ගිය පසු තම සැමියාගේ උයනේ සක්මන් කිරීම සුසන්නාගේ සිරිතක් විය. 8 ඈ සක්මන් කරනු සඳහා දිනපතා එනු දුටු ඒ වයසක මිනිසුන් දෙදෙනා ද ක්‍රමක්‍රමයෙන් ඇයට ආලය කිරීමට පටන් ගත්හ. 9 සිහි නුවණ පසෙක දමා යහ මඟ යාමට ඔව්හු කිසි උත්සාහයක් නොකර සත් ගුණවත් පැවැත්මේ අවශ්‍යතාවයන් අමතක කළහ. 10 දෙදෙනා ම කාමානුරාගයෙන් වෙළී සිටි නමුත් ඔව්හු එකිනෙකාගෙන් තම තමාගේ ආශාව සැඟවූහ. 11 ඇය සමඟ සැතපීමේ ආශාව පිළිගැනීම මහත් ලජ්ජාවට කරුණක් විය. 12 එහෙත්, ඔව්හු දිනපතා ඇය බැලීමට උත්සාහ කළහ. 13 ”දවල් ආහාර ගන්න වේලාව හරි, අපි යන්නට යමු”යි කියා දිනක් ඔවුන් වෙන් වී වෙනස් පාරවල් දෙකකින් ගිය නමුත්, 14 දෙදෙනා ම ආපසු ආවිට නැවත එකිනෙකාට මුණ ගැසුණ හ. මේ හදිය විස්තර කිරීම අවශ්‍ය වූ නිසා දෙදෙනා ම තම තමාගේ කාමාශාව පිළිගත්හ. පිළිගෙන ඇය තනි ව සිටින අවස්ථාවක් බලා සිටීමට එකඟ වූ හ. 15 මෙලෙස ඔව්හු හොඳ ප්‍රස්ථාවක් බලාගෙන සිටියෝ ය. සුසන්නා ද දිනක් සිරිත් පරිදි සේවිකාවන් දෙදෙනෙකු සමඟ ආවා ය. එදින අව් රශ්ණය තද දිනයක් වූ බැවින් උයන තුළ ඇයට ස්නානය කිරීමට වුවමනා විය. 16 සැඟවුනු ස්ථානයක සිට ඈ දෙස ඔත්තුවක් බලා සිටි වයසක දෙදෙනා ඇර වෙන කිසිවෙක් එහි නො වී ය. 17 ඈ ද සේවිකාවන් අමතා, ”මට තෙල් ටිකක් සහ සුවඳාලේපනය ටිකක් ගෙනෙන්න. මා ස්නානය කරන විට උයනේ දොරටුව වසා දමන්නැ”යි කීවා ය. 18 ඇය කී පරිදි ඔව්හු උයනේ දොරටු වසා ඇය කී දේ ගෙනෙන පිණිස නිවසේ පැත්තක පිහිටි දොරින් ආපසු ගෙදරට ගියහ. සැඟවී සිටි වයසක මිනිසුන් දෙදෙනා ගැන ඔව්හු කිසිවක් නොදත්හ.
19 සේවිකාවන් ගිය විගස ම වයසක මිනිසුන් දෙදෙනා ඇය වෙත දිව ආහ. 20 ඔව්හු ඇයට කතා කොට, ”මේ බලන්න, උයනේ දොරටුව වසාදමා ඇත. කාට වත් අපව නොපෙනේ. ඔබ සමඟ සැතපීමට අපි කැමැති ය. ඒ නිසා අපට ඉඩ දෙන්න. 21 ඉඩ නුදුනහොත් තරුණයෙකු ඔබ සමඟ සිටි බවටත් ඔබ සේවිකාවන් ඒ නිසා ම යන්නට හැරිය බවටත්, අපි දෙදෙනා ම සාක්ෂි දෙන්නෙමු”යි කී හ. 22 එවිට සුසන්නා සුසුම් හෙළා කතා කරමින්, ”මා කුමක් කළත් උගුලට අසු වී ඇත. මා ඔවුන්ට එකඟ වුණොත් මට මරණය නියත ය. මා විරුද්ධ වුණොත් මට ඔබගෙන් පලා යන්න බැරි වනු ඇත. 23 එහෙත් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කරනවාට වැඩියෙන් ඔබගේ බලයට නිදොස් ව අසුවෙන්න කැමැති වෙමි”යි කීවා ය. 24 මෙසේ කියා ඈ පුළුවන් තරම් මහ හඬින් කෑගැසුවා ය. වයසක මිනිසුන් දෙදෙනා ද ඈට දොස් පවරමින් කෑගසන්නට වූ හ. 25 මෙසේ කෑගසා ඔවුන්ගෙන් එක් කෙනෙක් උයනේ දොරටුව ඇර දිව ගියේ ය. 26 ගෙවැසියෝ ද, උයනෙහි කෑගැසීම අසා ඇයට සිදු වන දේ කුමක් ද කියා බලනු පිණිස නිවසේ පැත්තක පිහිටි දොරින් දිව ආහ. 27 වයසක මිනිසුන් දෙදෙනා ඔවුන්ගේ කතාව කී පසු සේවකයෝ ලජ්ජාවට පත් වූ හ. මන්ද, සුසන්නා ගැන මෙවැනි දෙයක් කිසි දාක ඔවුන් නොඇසූ බැවිනි.

සුසන්නාට මරණ දඬුවම තීන්දු කිරීම

28 පසු දින ඇගේ සැමියා වන ජුවකීම්ගේ ගෙදර රැස්වීමක් පවත්වන ලදී. වයසක දෙදෙනා ද ඇය මරණයට පත් කිරීමට තීරණය කොට පළිගැනීමේ චේතනාවෙන් පැමිණියහ. 29 ඔව්හු පිරිස අමතා, ”ජුවකීම්ගේ බිරිඳ වන හිල්කියාගේ දුව සුසන්නා කැඳවන්නැ”යි කී හ. ඇයට එය දන්වන ලදී. 30 ඇය ද ඇගේ දෙමාපියන් ද, ඇගේ දරුවන් ද, නෑදෑ සියල්ලන් ද, කැටුව පැමිණියා ය. 31 සුසන්නා ද බැලීමට ඉතා ශෝභමාන, සුන්දර කාන්තාවක් වූවා ය. 32 වයසක දෙදෙනා ද ඇගේ රුව බලා ප්‍රීතිවීම සඳහා තමාගේ මුහුණ වසාගෙන සිටි සළුව ඉවත් කිරීමට ඇයට නියම කළහ. 33 ඇයගේ ම සෙනඟ ද ඇය දුටු සියලු දෙනා ද වැලපෙන්නට වූ හ. 34 එවිට මේ වැඩිමහල්ලන් දෙදෙනා මුළු සෙනඟ ඔවුන් වටේට සිටගත් පසු නැඟිට ඔවුන්ගේ අත් ඇයගේ හිස මත තැබූ හ. 35 ඈ ද කඳුළු සලමින් දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තු ඇති ව ඇගේ නෙත් ස්වර්ගය දෙස යොමු කළා ය. 36 එවිට වැඩිමහල්ලන් දෙදෙනා කතා කොට, ”අපි දෙදෙනා තනි ව උයන ළඟින් ඇවිදින විට මේ ස්ත්‍රී සේවිකාවන් දෙදෙනා සමඟ පැමිණියා ය. ඉන්පසු ඈ උයනේ දොරටුව වසාදමා සේවිකාවන් යන්නට හැරියා ය. 37 ඒ අවස්ථාවේ දී සැඟවී සිටි එක්තරා තරුණයෙක් අවුත්, ඇය සමඟ සැතපුණේ ය. 38 උයනේ කොණක සිටි අපි මේ අපරාධය දුටු විට ඔවුන් වෙත ඉක්මනින් ගියෙමු. 39 ඔවුන් දෙදෙන එකට සිටිනවා දුටු නමුත් අපට ඒ මිනිසා අල්ලන්නට නොහැකි විය. ඔහු අපට වඩා ශක්ති සම්පන්න කෙනෙක් විය. ඔහු දොරටුව ඇරගෙන දුවන්නට විය. 40 එහෙත් අපි ස්ත්‍රිය අල්ලාගෙන ඒ තරුණයා කවරෙක් ද කියා ඇසූ නමුත්, 41 ඈ අපට උත්තර නුදුන්නා ය. මෙය අපේ සාක්ෂිය”යි කී හ.

දානියෙල් සුසන්නා නිදහස් කිරීම

ඔවුන් ප්‍රජා මූලිකයන් සහ විනිශ්චයකාරයන් වූ බැවින් පිරිස ඔවුන් කී දේ විශ්වාස කළහ. සුසන්නා ද මරණයට නියම කරනු ලැබුවා ය. 42 ඈ ද මහහඬින් කෑගසා ”සදාතන දෙවියනි, ඔබ සියලු රහස් ද, යමක් සිදුවීමට පෙර සියල්ල ද දන්නා සේක. 43 ඔවුන් මට විරුද්ධ ව බොරු සාක්ෂි කියා ඇති බව ඔබ දන්නා සේක. මට විරුද්ධ ව ඇති ඔවුන්ගේ වෛරය නිසා මා නිදොස් වුව ද, මට දැන් මරණය නියත ය”යි කීවා ය. 44 සමිඳාණන් වහන්සේ ද, ඇගේ ඉල්ලීමට සවන් දුන් සේක. 45 ඇය මෙසේ මරණයට ගෙනයනු ලබන අවස්ථාවේ දී, මේ ක්‍රියාවට විරුද්ධ ව නැඟී සිටීමට, උන් වහන්සේ දානියෙල් නමැති තරුණ ළමයෙකු ආත්මිකව පෙළඹවූ සේක. 46 මොහු කෑගසමින් ”මේ ස්ත්‍රියගේ මරණය ගැන මට වගකීමක් නැතැ”යි කී ය. 47 එවිට සියලු දෙනා ඔහු වෙත හැරී ඔහුට කතා කොට, ”ඔබ මේ කියන දේවල තේරුම කුමක් දැ”යි විචාළහ. 48 ඔහු ද ඒ මහා පිරිස මැද සිටගෙන ඔවුන්ට පිළිතුරු දෙමින්, ”ඉශ්රායෙල් ජනයෙනි, ඉශ්රායෙල් දියණියක් කියන දේ නොඅසා ඇත්ත සොයාගැනීමට උත්සාහ නොකර ඇය මරණයට තීන්දු කිරීමට තරම් ඔබ මහා මො‍්ඩයෝ ද? 49 ඔබ සියලු දෙනා නඩුව විමසූ ස්ථානයට ආපසු යන්න. මේ මිනිසුන් ඇයට විරුද්ධ ව බොරු සාක්ෂි දී ඇතැ”යි කීවේ ය.
50 එවිට සියල්ලෝ ඉක්මන් කොට ආපසු ගියහ. වැඩිමහල්ලෝ ද, දානියෙල්ට කතා කොට, ”දෙවියන් වහන්සේ ප්‍රජා මූලිකයන්ට දී තිබෙන වරම ඔබටත් දී තිබෙන බැවින්, එන්න, අප සමඟ වාඩිවී ඔබ කියන දේවල තේරුම කුමක් ද කියා කියන්නැ”යි කී හ. 51 එවිට දානියෙල් කතා කොට, ”මේ දෙදෙනාගෙන් මට ප්‍රශ්න කිරීමට වුවමනා බැවින් ඔවුන් දෙදෙනා වෙන් කොට තබන්නැ”යි කී ය. 52 ඔවුන් වෙන් කළ පසු, ඔවුන්ගෙන් කෙනෙකු ඔහු තමා වෙත කැඳවා, ඔහුට කතා කොට, ”ඔබ දුෂ්ටකමෙහි වයසට පත් වී ඇත. දැන් ඔබේ පරණ පාපවලට ඔබ වසඟ වී සිටින්නෙහි ය, 53 නිදොස් වූ ද, දැහැමි වූ ද, අය මරණයට පත් නොකරන්නැ”යි සමිඳාණන් වහන්සේ කියා ඇති නමුත්, ඔබ ඔබගේ අසාධාරණ තීන්දුවලින් නිදොස් අය මරණයට පාවා දී වැරදිකරුවන් නිදොස් කරන්නහු ය. 54 ”ඔබ ඇය ඉතා පැහැදිලි ව දුටු බැවින් ඔවුන් සැතපී සිටියේ කුමන ගසක් යට ද කියා මට කියන්නැ”යි කී ය. ඔහු ද පිළිතුරු දෙමින්, ”සියඹලා ගසක් යට ය”යි කී ය. 55 දානියෙල් ද, කතා කොට, ”ඔබ කතා කළා ඇති. ඔබ කී බොරුව ඔබේ ම හිස පිටට ම ඒවි. දෙවියන් වහන්සේගේ දූතයා උන් වහන්සේගෙන් ඔබ ගැන තීන්දුව ලබාගෙන දැන් ඔබ දෙකට පළාදමනු ඇතැ”යි කී ය.
56 ඉන්පසු ඔහු ඒ මිනිසා යන්නට හැර අනිත් වැඩිමහල්ලා තමා ළඟට ගෙන්වා ගෙන, ඔහු අමතා, ”ජුදා දේශයට නොව කානාන් දේශයට ජාතක වූ හැතිකරය, රූපශ්‍රීයෙන් ඔබ මුළා වී ඇත. කාමරාගය ඔබ මංමුලා කර ඇත. 57 ඉශ්රායෙල් දියණියන් කෙරෙහි ඔබ ක්‍රියා කළේ මේ පිළිවෙළට ද? ඔව්හු ද ඔබට විරුද්ධ ව යාමට බිය වූ හ. එහෙත් ඔබගේ දුෂ්ටකමට හිස නොනමන ඉශ්රායෙල් දියණියක්, මෙහි සිටියි. 58 ඔබ ඔවුන් වෙත යන විට ඔවුන් සිටියේ කුමන ගසක් යට ද කියා මට කියන්නැ”යි කී ය. ඔහු ද, පිළිතුරු දෙමින්, ”නුග ගසක් යට ය”යි කී ය. 59 දානියෙල් එවිට කතා කොට, ”ඔබත් කතා කළා ඇති, ඔබ කී බොරුව ඔබේ හිස පිටට ම ඒවි. ඔබ කඩුවකින් දෙපලු කොට ඔබ දෙදෙනා මරාදමන පිණිස දෙවියන් වහන්සේගේ දූතයා බලා සිටින්නේ ය”යි කීවේ ය. 60 එවිට මුළු මහා පිරිස ම තමන් වහන්සේ තුළ විශ්වාසය තබන අයගේ ගැළවුම්කාර වූ දෙවියන් වහන්සේට මහා හඬින් ප්‍රශංසා කළහ. 61 ඉන්පසු ඔව්හු බොරු සාක්ෂි දීම නිසා දානියෙල් විසින් වරදට පත් කරනු ලැබූ වැඩිමහල්ලන් දෙදෙනාට විරුද්ධ ව හැරුණාහ. 62 මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ නියම කර තිබෙන පරිදි සෙනඟ මේ මහල්ලන් දෙදෙනා විසින් ඔවුන්ගේ අසල්වැසියාට නියම කිරීමට අදහස් කර තිබුණු තීන්දුව, ඒ දෙදෙනාට නියම කළහ. මෙලෙස සෙනඟ ඒ දෙදෙනා මරණයට පත් කළහ. එහෙත් ඒ දින නිදොස් කාන්තාවකගේ ජීවිතය බේරාගන්නා ලදී. 63 සුසන්නා කිසි ම පිළිකුල් දෙයක් නොකළා ය කියා ඈ තීන්දුව ලැබූ නිසා හිල්කියා සහ ස්වකීය බිරිඳ ද ඇගේ සැමියා සහ නෑදෑයෝ ද, දෙවියන් වහන්සේට ස්තුති කළහ. 64 එදින පටන් දානියෙල්ගේ කීර්තිය සෙනඟ අතර මහත් සේ පැතිරෙන්නට විය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW