ජෝෂුවා – 1 වන පරිච්ඡේදය –

කානාන් දේශය අත්කර ගැනීමට සූදානම

1 සමිඳාණන් වහන්සේගේ සේවක වූ මෝසෙස්ගේ මරණයෙන් පසු, ඔහුගේ සහකාර වූ නූන්ගේ පුත් ජෝෂුවාට උන් වහන්සේ කතා කොට, මෙසේ වදාළ සේක: 2 ”මාගේ සේවක වූ මෝසෙස් මළේ ය. දැන් ඉතින් නුඹත්, මේ මුළු සෙනඟත් නැඟිට, ඔවුන්ට එනම්, ඉශ්රායෙල් ජනතාවට මා දෙන්නට යන දේශයට ජොර්දාන් ගඟින් එගොඩ වී යන්න. 3 මා මෝසෙස්ට දැන්වූ පරිදි නුඹලා පා තබන සෑම ස්ථානයක් ම මම නුඹලාට දෙමි. 4 පාළුකරය හා මේ ලෙබනොන් දේශය පටන් මහා ගංගාව වන යුප්‍රටීස් ගංගාව දක්වා ඇති, හිත්තීවරුන්ගේ මුළු රට ද අපරදිග මහ මුහුද දක්වා ද නුඹලාගේ දේශ සීමා වනු ඇත. 5 දිවි ඇති තාක් නුඹලාට විරුද්ධ ව කිසිවෙකුට නැඟී සිටින්නට නොහැකි වන්නේ ය. මම මෝසෙස් සමඟ සිටියාක් මෙන් නුඹ සමඟත් සිටින්නෙමි. මම නුඹ කෙරෙන් අහක් ව යන්නේ වත්, නුඹ අත්හරින්නේ වත් නැත. 6 ශක්තිමත් ව ද ධෛර්යවත් ව ද සිටින්න. මන්ද, මේ සෙනඟට දෙන හැටියට මා ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශය නුඹ ඔවුන්ට උරුම කොට දෙන්නෙහි ය. 7 මාගේ සේවක වූ මෝසෙස් අණ කළ සියලු නීති අනුව ක්‍රියා කිරීමට බලාගන්නා ලෙස ශක්තිමත් ව ද ධෛර්යවත් ව ද සිටින්න. නුඹ යන යන සෑම තැන දී ම නුඹට ශුභසිද්ධ වන පිණිස එම නීතිය අකුරට ම පිළිපදින්න. 8 මේ නීති සංග්‍රහය නුඹ නිතර ම කියවිය යුතු ය. එහි ලියා තිබෙන සියල්ල අනුව ක්‍රියා කරන පිණිස ඒ ගැන දිවා රෑ දෙක්හි භාවනා කළ යුතු ය. එවිට නුඹ කරන දේ සඵල වී නුඹට ශුභසිද්ධිය සැලසෙනු ඇත. 9 ශක්තිමත් ව, ධෛර්යවත් ව සිටීමට ද බිය නොවීමට ද නොකැළඹීමට ද මා නුඹට අණ කළා නොවේ ද? මන්ද, නුඹ යන සෑම තැනක ම නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ නුඹ සමඟ වැඩසිටින සේක.” 
10 එවිට ජෝෂුවා සෙනඟගේ නිලධාරීන් අමතා, 11 ”ඔබ කඳවුර මැදින් ගොස් සෙනඟට කතා කොට, ‘දෙවි සමිඳාණන් වහන්සේ උරුමය වශයෙන් ඔබට දෙන දේශය හිමි කරගැනීමට තව දවස් තුනකින් ඔබ හැම මේ ජොර්දාන් ගඟින් එතෙර යන හෙයින් ඒ සඳහා කෑම සූදානම් කරගන්න’ කියා අණ කරන්නැ”යි කීවේ ය. 
12 ඉන්පසු ජෝෂුවා රූබන්වරුන්ට ද ගාද්වරුන්ට ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයට ද කතා කොට, 13 ”සමිඳාණන් වහන්සේගේ සේවක මෝසෙස් ඔබ හැමට අණ කරමින් කී දේ, එනම්, ‘දෙවි සමිඳාණන් වහන්සේ ඔබ හැමට විවේක ස්ථානයක් සඳහා මේ දේශය දෙන සේක’ යන්න සිහිකරන්න. 14 මෝසෙස් ජොර්දාන් ගඟින් මෙගොඩ ඔබට දී තිබෙන දේශයෙහි ඔබේ භාර්යාවන් ද කුඩා දරුවන් ද ගවමහිෂයන් ද පදිංචි වනු ඇත. එහෙත්, ඔබ අතර සියලු බලසම්පන්න පුරුෂයන් සන්නාහ සන්නද්ධ ව ඔබේ සහෝදරයන්ට පෙරටුව යමින් ඔවුන්ට උපකාර කරනු ඇත. 15 දෙවි සමිඳාණන් වහන්සේ ඔබට මෙන් ඔබේ සහෝදරයන්ට විවේකය දෙන තෙක් ද උන් වහන්සේ ඔවුන්ට දෙන දේශය අයිති කරගන්න තෙක් ද ඔබ එලෙස ඔවුන්ට උපකාර කළ යුතු ය. ඉන්පසු සමිඳාණන් වහන්සේගේ සේවක මෝසෙස් ජොර්දාන් ගඟින් එහා පෙරදිග දිශාවෙහි ඔබ හැමට දුන්, ඔබට අයිති වන දේශයට හැරී අවුත් එය භුක්ති විඳීමට පටන්ගන්නෝ ය”යි කීවේ ය. 
16 එවිට ඔව්හු ජෝෂුවාට පිළිතුරු දෙමින්, ”ඔබ අපට අණ කළ සියල්ල ම අපි කරන්නෙමු; ඔබ අප යවන කොතැනට වුව ද අපි යන්නෙමු. 17 සියල්ලේ දී අප මෝසෙස්ට කීකරු වූ ලෙස ඔබටත් කීකරු වන්නෙමු. දෙවි සමිඳාණන් වහන්සේ මෝසෙස් සමඟ වැඩ සිටියාක් මෙන් ඔබ සමඟ ද වැඩ සිටින සේක් වා! 18 යමෙක් ඔබේ අණපණත්වලට විරුද්ධ ව කැරලි ගසමින්, ඔබ ඔහුට අණ කරන සියල්ලේ දී ඔබට අකීකරු වුවොත්, ඔහු මරණයට පත් කළ යුතු වන්නේ ය. ඔබ ශක්තිමත් ව ද ධෛර්යවත් ව ද සිටින්නැ”යි කීවෝ ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW