ජෝබ් – 3 වන පරිච්ඡේදය –

ජෝබ් සිය උපන් දිනයට සාප කිරීම

1 ඉන්පසු මේ තාක් නිහඬ ව සිටි ජෝබ් තමා උපන් දිනයට සාප කරගනිමින්
2 මෙසේ කී ය:
3 ”මා උපන් දිනයට සාප වේ වා!
මා වැනි පිරිමි දරුවෙකු පිළිසිඳ ගත් රාත්‍රියට සාප වේ වා!
4 ඒ දවස අඳුරෙන් වැසේ වා!
සගලොව දෙවිඳාණෝ එය නොතකා හරිත් වා!
අරුණලු එහි නොදිළේ වා!
5 ඒ දවස, ගන’ඳුරින් හා තද කළු වැහි පටලින් වැසීයේ වා!
හිරු මඬල ද මැකීයේ වා!
6 ඒ රාත්‍රිය, ගන’ඳුරින් වැසීයේ වා!
අවුරුද්දේ දවස්වලත්, මාසයේ දවස්වලත් එය මකා දමනු ලැබේ වා!
7 එවන් රැයක, වෙන දරු උපතක් සිදු නො වේ වා!
සතොස වඩන කිසි හඬකුත් නො වේ වා!
8 මුහුදු සතුන්, දිය රකුසන්, මන්ත්‍ර බලයෙන් මැඬලන අය එදිනට සාප කරත් වා!
9 ඒ දවස හිරු බැස යන කල අහසෙහි තරු නොදිළේ වා!
එළිය ලැබෙන පැතුම සුන් වේ වා!
අරුණලු උදා නො වේ වා!
10 මේ සියල්ල, මෙසේ සිදු විය යුත්තේ, මවු කුසෙන් මා බිහි වී දුක දැක්මෙන් මා නොවැළැක් වූ බැවිනි.
11 මවු කුසේ දී ම මා නොමළේ මන් ද?
කුසෙන් නික්ම ආ විගස ම මාගේ පණ නොගියේ මන් ද?
12 මවු තුරුල්ලට මා පිළිගත්තේ කුමට ද?
මවගේ ළයෙහි මව් කිරි මට පෙව්වේ කුමට ද?
13 මම් එසේ මළෙම් නම්, දැන් නිසංසල ව මිනීවළෙහි මට ඉන්න තිබිණි;
කරදරයක් කිසිත් නැති ව මරණ නින්දට යන්න තිබිණි.
14 එසේ වී නම්, නැති වී යන රාජ මාලිගා ඉදි කළ නිරිඳුන් සහ ඇමතිවරුන් සමඟ මටත් සැතපෙන්නට තිබිණි.
15 සිය මැදුරු රන් රිදීයෙන් පුරවාගත් කුමරුන් සමඟ ද මට සැතපෙන්නට තිබිණි.
16 මෙලොව එළිය නුදුටු දරුවන් මෙන් ගබ්සා වී මා මිය නොගියේ මන් ද?
17 සොහොනෙහි පවිටු දනන් තම පව්කම් නිම කර ඇත;
වෙහෙසට පත් කම්කරු දනන් සිය වෙහෙසින් තොර වී ඇත.
18 සිරකරුවන් හට සොහොනෙහි සාමය ඇත;
අණ දෙන නිලධාරීන්ගේ කට හඬ දැන් ඇසෙන්නේ නැත.
19 සොහොන් ගැබ තුළ ලොකු කුඩා සියල්ලෝ එක හා සමාන ය;
වහලා තම ස්වාමියාගෙන් නිදහස් ය.
20 ”එතුමා දුකින් සිටින අයට එළිය දෙන්නේ මන් ද?
සොවින් පෙළෙන අයට දිවි දෙන්නේ මන් ද?
21 ඔව්හු මරු එන තුරු බලා සිටිති; එහෙත්, මරු එන්නේ නැත.
අන් සැම සම්පතට වඩා ඔව්හු සොහොන අගේ කරති.
22 සොහොනට යෑම ඔවුන්ට සතුටකි;
මිනීවළට යන විට ඔව්හු ප්‍රිය හඬ දෙති.
23 දෙවි තුමන් හැම අතින් ම හිර කර සිටින, තමා යා යුතු මඟ නොපෙනෙන මිනිසා උපත ලැබුවේ මන් ද?
24 මාගේ ආහාරය සුසුම් කඳුළු පමණකි;
මාගේ කෙඳිරිගෑම, ගලා බසින දිය දහරකි.
25 මා බියජනක දේ මට පැමිණ ඇත.
මා තැති ගන්වන හැම දේ මා පිට වැටී ඇත.
26 මාගේ සිතට ශාන්තියක්, සැනසිල්ලක් කොහෙත් ම නැත;
මාගේ දුකට අවසානයක් ඇත්තේ ම නැත.”

Suba Asna - සුබ අස්න

FREE
VIEW