ජෝබ් – 21 වන පරිච්ඡේදය –

ජෝබ්ගේ පිළිතුර

1 එකල ජෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය:
2 ”මාගේ මේ කතාව සාවධාන ව අසන්න.
ඔබ මට දෙන සැනසිල්ල එය වේ.
3 මට වචනයක් කීමට ඉඩ දෙන්න.
කැමැති නම්, ඉන්පසු අපහාස කරන්න.
4 මාගේ පැමිණිල්ල මනුෂ්‍යයාට විරුද්ධ ව යයි ඔබ සිතන්නහු ද?
මාගේ අසහනයට වෙන හේතුවක් තිබෙන්නට බැරි ද?
5 මට සවන් දෙන්න;
එවිට ඔබ විස්මිත ව, දෑතින් කට වසාගෙන නිහඬ වනු නියත ය.
6 මේ ගැන මෙනෙහි කරන විට පවා මම අන්දුන්කුන්දුන් වෙමි.
මාගේ ඇඟ ගැහෙන්නට පටන්ගනියි.
7 දුෂ්ටයන් දිගින් දිගට ජීවත් වී, දිගායු වළඳා, බලවත් වන්නේ කෙසේ ද?
8 ඔවුන්ට දරු මුණුබුරෝ ඇති වන්නො‍් ය.
ඔවුන් වැඩෙනු දකින්නට ඔව්හු ද ජීවත් වන්නො‍් ය.
9 ඔවුන්ගේ නිවාස බියෙන් තොර ව සුරක්ෂිත ව ඇත;
දෙවිඳුන්ගේ දඬුවම ඔවුන් පිට නැත.
10 ඔවුන්ගේ ගවයෝ නොවරදවා පැටව් ගසති;
ඔවුන්ගේ එළදෙනුන්ට ගබ්සා වීමක් නැත.
11 ඔව්හු තමන්ගේ බාලයන් බැටළු රැළක් මෙන් පිටතට යවති.
ඔවුන්ගේ දරුවෝ නටන්නො‍් ය.
12 ඔව්හු රබාන ද වීණාව ද වයමින් ගී ගයති;
නළා හඬ අසා ප්‍රීති වෙති.
13 ඔව්හු සැපතින් දවස් යවති;
දුක් නොවිඳ, සාමදානයෙන් පාතාල ලෝකයට යති.
14 ඔව්හු දෙවිඳුන්ට මෙසේ කියති:
‘අප වෙතින් යනු මැනව;
ඔබේ දහම් මඟ ඉගෙනීමට අපට ආශාවක් නැත.
15 සව් බලැති දෙවිඳුන්ට වැඳ නමස්කාර කිරීමට එතුමාණෝ කවරෙක් ද?
එතුමන්ට අයැදුම් කිරීමෙන් කුමන වැඩක් සිදු වේ ද?’
16 ඔවුන්ගේ ම සවි ශක්තියෙන් ඔව්හු සමෘද්ධිමත් නොවන්නො‍් ද?
එහෙත්, එයාකාර සිතුවිල්ලක් මට පිළිගත නොහැකි ය.
17 කොපමණ වරක් දුදනන්ගේ පහන නිවී ගියේ ද?
කොපමණ වරක් ඔවුන් පිට විපත පැමිණියේ ද?
කොපමණ වරක් දෙවිඳාණෝ සිය උදහසින් ඔවුන් වෙත දුක් දොම්නස් එවූ සේක් ද?
18 කොපමණ වරක් සුළඟේ ගසාගෙන යන පිදුරු හා බොල් මෙන් ඔව්හු පහ ව ගියෝ ද?
19 ‘දෙවිඳුන් ඔවුන්ගේ අපරාධ ඔවුන්ගේ දරුවන් පිට පමුණුවනු ඇතැ’යි ඔබ කියන්නහු ය.
එය එසේ නොවේ;
තම පව් තමන්ට ම දුක් දෙන බව ඔවුන් දැනගන්න පිණිස,
එතුමාණෝ ඔවුන් පිට ම විපත් පමුණුවන සේක.
20 ඔවුන්ගේ විනාශය ඔව්හු ම සිය දෑසින් දකිත් වා! සව් බලැති දෙවිඳුන්ගේ උදහස ඔව්හු ම පානය කරත් වා!
21 ඔවුන්ගේ ආයු ගෙවී ගිය කල්හි, ඔවුන්ගේ දරු මුණුබුරන්ගේ සැපත ගැන ඔව්හු ම සලකත් ද?
22 සගලොව වසන අය පවා විනිශ්චය කරන දෙවිඳුන් හට උපදෙස් දීමට කවර නම් මිනිසෙකුට හැකි වේ ද?
23 එහෙත්, එක් අයෙක් සව් සැපතින් පිරී, සුවයෙන් යෙහෙන් ජීවත් ව සිට මිය යයි.
24 ඇඟ පත ආහාරයෙන් පුෂ්ටිමත් ව තිබිණි;
ඇට මිදුළු තෙත් ව තිබිණි.
25 වෙන අයෙක් කිසිදු සැපතක් නොවිඳ, සෝදුකින් යුතු ව මිය යයි.
26 එහෙත්, ඒ දෙදෙනා ම එක සේ දූවිල්ලෙහි වැද හෙව සිටිති.
පණුවෝ එක සේ ඔවුන් වසා ගනිති.
27 මට එරෙහි ව ඇති ඔබේ කල්පනා ද ඔබ ගෙනෙන යෝජනා ද මම දනිමි.
28 ප්‍රභූවරයාගේ මන්දිරය කොතැන්හි ද?
දුෂ්ටයා විසූ නිවෙස කොහේ ද කියා ඔබ ප්‍රශ්න කරන්නහු ද?
29 සංචාරකයන්ගෙන් ඔබ අසා නැද් ද?
ඔවුන් ගෙනෙන සාක්ෂි ඔබ පිළිගන්නේ නැද් ද?
30 විපත් දිනයේ දී දුදනා හැම විට ම බේරෙනු නොවේ ද?
දෙවිඳුන් කෝප වන දවසේ දී දුදනා හැම විට ම ගැළවෙනු නොවේ ද?
31 ඔහුගේ වරද ඔහුගේ මුහුණට ම කියන කිසිවෙක් නැත.
ඔහු කළ නපුරු දේ ගැන ඔහුට විපාක දෙන කිසිවෙක් නැත.
32 ඔහු සොහොන් බිම වෙත ගෙන ගිය විට සොහොන මුර කරනු ලැබේ.
33 ඔහු පෙරටුවෙන් හා පිටුපසින් ඔහුගේ අවමඟුල් පෙරහැරේ දහස් ගණන් සෙනඟ ගමන් කරති.
පොළොවේ පස පවා ඔහු පිට මෘදු ලෙස වැටෙයි.
34 එසේ නම්, ඔබ මට දෙන සැනසිල්ලෙන් වැඩක් නැත.
ඔබේ පිළිතුරුවල ඇත්තක් නැත.”

Suba Asna - සුබ අස්න

FREE
VIEW