ජෝබ් – 12 වන පරිච්ඡේදය –

ජෝබ්ගේ පිළිතුර

1 ඊට පිළිතුරු වශයෙන් ජෝබ් මෙසේ කී ය:
2 ”ඔබයි, පණ්ඩිතවරු!
ඔබ මියයන දා ප්‍රඥාවත් මිය යනු ඇත!
3 මටත් ඔබට මෙන් ම මොළේ නැද් ද?
මම ඔබට දෙ වැනි නොවෙමි.
ඔය කී දේවල් නොදන්නො‍් කවුරු ද?
4 මම දෙවිඳුන් අයැද උත්තර ලත් මිනිසෙක්මි;
එහෙත්, මාගේ මිතුරන් හට දැන් මම විහිළුවක් වී සිටිමි.
අනේ!
දැහැමි, අවංක මිනිසා විහිළුවක් වන හැටි!
5 සැප ඇති අය අසරණයන් සුළු කර සිතති;
වැටෙන්න යන අයට පහර දී බිම හෙළති.
6 කොල්ලකාරයන්ගේ නිවෙසට සාමය උදා වෙයි;
දෙවිඳුන් කො‍්ප කරන අය යහතින් වසති.
ඔවුන්ගේ ම ශක්තිය ඔවුන්ගේ දෙවියන් වී ඇත.
7 එහෙත්, පොළොවේ සතුන්ගෙන් අසන්න;
උන් ඔබට උගන්වනු ඇත.
අහසේ සියොතුන්ගෙන් අසන්න;
උන් ඔබට දන්වනු ඇත.
8 පොළොවේ බඩ ගා යන සතුන් ඔබට කරුණු පහදා දෙනු ඇත.
මුහුදේ මසුන් ඔබට තේරුම් කර දෙනු ඇත.
9 සමිඳුන්ගේ හස්තය මේ සියල්ල කළ බව තේරුම්ගන්නො‍් ඔවුන්ගෙන් කවුරු ද?
10 දිවි ඇති සියලු සතුන්ගේ පණ නළ ද මුළු මිනිස් සංහතියේ ජීවිතය ද එතුමන් අතෙහි ඇත.
11 දිවෙන් කෑම රස බලන්නාක් මෙන් කනින් අසන වචන මනස විමසනවා නොවේ ද?
12 වයස්ගත අය හට ප්‍රඥාව ඇත.
වයස්ගත වීම සමඟ නැණ නුවණ උදා වේ.
13 දෙවිඳුන් වෙත ප්‍රඥාව හා බලය යන දෙක ම ඇත.
විනිශ්චය හා නුවණ එතුමන් අතෙහි ය.
14 එතුමාණන් කඩාදමන තැන පුනරුත්ථානයක් නැත.
එතුමාණන් සිරගත කරන මිනිසාට විමුක්තියක් නැත.
15 එතුමාණන් වැස්ස දුන් විට එය නැවතුවහොත් ඉඩෝරය පැමිණේ.
යළි වැස්ස දුන් විට රට යට කරන මහ ගංවතුරු ගලයි.
16 බලය හා දක්ෂකම එතුමන් වෙත ඇත.
රැවටෙන්නාත්, රවටන්නාත් දෙදෙනා ම එතුමන්ගේ බලය යටතේ ය.
17 එතුමාණෝ අනුශාසකයන් මන්ද බුද්ධිකයන් කරන සේක;
විනිශ්චයකාරයන් මෝඩයන් කරන සේක.
18 එතුමාණෝ රාජ බලය බිඳදමා, රජවරුන් දාසයන් කරන සේක;
19 එතුමාණෝ පූජකවරුන් බලයෙන් ඉවත් කරන සේක.
බලවතුන් පහළට හෙළ‍න සේක;
20 එතුමාණෝ චතුර කථිකයන් නිහඬ කරන සේක;
මහලු අයගේ තැන්පත් බුද්ධිය ඉවත් කරවන සේක.
21 එතුමාණෝ රජ කුමරුන් අවමානයට ලක් කරන සේක;
වංශාධිපතීන්ගේ අභිමානය බිඳ හෙළ‍න සේක.
22 කළුවර තැන්වලට ආලෝකය එවන සේක;
තිත්ත කළුවර ආලෝක කරන සේක,
23 එතුමාණෝ ජාතියක් උසස් කොට එය විනාශ කරන සේක;
ජනතාවක් වර්ධනය කොට ඔවුන් නසා ලන සේක.
24 එතුමාණෝ ලොවේ ජන නායකයන්ගේ නුවණ පහකරන සේක;
හසරක් නැති වැලි කතරෙහි ඔවුන් මුළා කරන සේක;
25 ඔව්හු එළියක් නැති දැඩි අඳුරෙහි අතපතගාමින් ඇවිදිති;
වෙරි මතින් වැනි වැනි ගමන් කරන බේබද්දන් මෙන් යති.

Suba Asna - සුබ අස්න

FREE
VIEW