ජෝබ් – 10 වන පරිච්ඡේදය –

1 ”මට ජීවිතය තිත්ත වී ඇත;
මාගේ දුක් ගැනවිලි නොවළහා කියා පාමින් සොවින් පිරුණු හදවතකින් මම කතා කරමි.
2 මම දෙවිඳුන්ට මෙසේ කියමි:
‘මා වරදට පත් නොකළ මැනව;
මට විරුද්ධ ව ඔබ කරන පැමිණිල්ලට හේතුව පැවසුව මැනව.
3 මෙසේ මා පෙළීමත්, ඔබේ ම මැවිල්ල වන මා හෙළා දැකීමත්, දුදනන්ගේ ක්‍රියා කලාපය ගැන සතුට පහළ කිරීමත් ඔබට සුදුසු යැයි වැටහේ ද?
4 ඔබට ඇත්තේ මිනිස් දෙනෙතක් නොවේ.
ඔබ අප වාගේ මිනිස් ඇසින් බලන්නේ නැත.
5 ඔබේ දවස් මිනිසාගේ දවස් මෙන් නොවේ.
ඔබේ අවුරුදු මිනිසාගේ අවුරුදුවලට සමාන නැත.
6-7 ඔබ මා දුදනෙකු නොවන බව දැන දැනත්, ඔබ අතින් මා මුදාගැනීමට අන් කිසිවකු නැති බව ඔබට පෙනි පෙනිත්,
මාගේ අපරාධ ගැන සොයා බලන්නේ මන් ද?
මාගේ පව් විමසන්නේ මන් ද?
8 ඔබේ දෑතින් මට රූපය දී ඔබ මා මැවූ සේක.
ඒ දෑතින් ම දැන් ඔබ මා නසන සේක් ද?
9 ඔබ මා මැටි අඹන ලෙස සෑදූ බව සිහි කරන්න.
දැන් ඔබ මා යළි දූවිල්ලට හරවන සේක් ද?
10 කිරි බිඳක් කැටි වන ලෙස ඔබ මාගේ කළල රූපය මවු කුසෙහි සවි වන්නට සැලැසූ සේක;
11 ඇට හා නහර මට දී හම හා මස්වලින් ඔබ මා පැළඳවූ සේක.
12 ඔබ මට ජීවිතයත්, ප්‍රේමයත් දානය කළ සේක.
දයාන්විත බැල්මෙන් මාගේ පණ නළ රැක දුන් සේක.
13 එහෙත්, ඔබ හදවතෙහි මේ සියලු දේ සඟවා ගත් සේක.
ඔබේ අරමුණ කුමක් දැ යි මම දනිමි.
14 මා පව් කරන විට ඔබ සටහන් කර ගන්න සේක;
මාගේ අපරාධයෙන් නිදොස් වීමට ඔබ මට ඉඩ නොදෙන සේක.
15 මම දුෂ්ටයෙක් වීම් නම්, මට වන විපතක මහත!
මම දැහැමි කෙනෙක් වීම් නම්, ලජ්ජාවෙන් මිරිකී කාලකණ්ණි ව සිටිනු මිස හිස එසවීමක් මට නැත.
16 මා හිස එසෙව්වත්, සිංහයෙකු මෙන් ඔබ මා ලුහුබැඳ අරුමපුදුම ලෙස ඔබ තවත් ජයග්‍රහණයක් ලබන සේක.
17 මට විරුද්ධ ව අලුත් සාක්ෂි ඔබ ඉදිරිපත් කරන සේක.
මා කෙරේ ඔබේ උදහස තව තවත් වැඩි කරන සේක.
පහර පිට පහර මට එල්ල කරන සේක.
18 ‘ඉතින් ඔබ මවු කුසින් මා ගෙනායේ කුමට ද?
කවුරුත් නොදැක මා එහි ම මළා නම් හොඳ ය.
19 උපත වෙනුවට මවු ගැබෙන් කෙළින් ම සොහොන් ගැබට ගියා නම්, එය මට යෙහෙකැ’යි සිතමි.
20 මාගේ ජීවිතය ලුහුඬු ය, මා සිතූ හැටියට නිදහසේ සිටින්නට මට ඉඩ දී අල්ප මාත්‍ර ප්‍රීතියක් මට දුන මැනව.
21 මම විගසින් තුරන් වී යමි;
ගොස් කිසි දා ආපසු නොඑමි.
අඳුරු, කළුවර දේශයට යමි.
22 ඒ දේශය වියවුලින් පිරී ඇත;
දැඩි අන්ධකාරයෙන් ද කළු සෙවණැල්ලෙන් ද වියවුලෙන් ද පිරී ඇත.
එහි ආලෝකය පවා අන්ධකාරයකි.”

Suba Asna - සුබ අස්න

FREE
VIEW