ජෝනා – 2 වන පරිච්ඡේදය –

ජෝනාගේ ස්තූති ප්‍රශංසා යාච්ඤාව

1 ජෝනා මත්ස්‍යයාගේ කුසයේ සිට තම දෙවි සමිඳාණන් වහන්සේට මෙසේ යාච්ඤා කෙළේ ය.
2 ”මාගේ පීඩාවේ දී සමිඳුන්ට හඬගැසීමි, එතුමාණෝ මට පිළිතුරු දුන් සේක.
පාතාල ගැබේ සිට කෑගැසීමි, ඔබ මාගේ හඬ ඇසූ සේක.
3 ඔබ මුහුද මැද ගැඹුරට මා හෙළූ සේක.
ජලධාරාවෝ මා සිසාරා සිටගත්හ.
තරංග හා ජලකඳ සියල්ල මට උඩින් ගලා ගියේ ය.
4 එවිට මම මෙසේ කීමි:
‘ඔබ ඇස් හමුයෙන් මම පහකරනු ලැබීමි.
එබැවින් ඔබේ ශුද්ධ මාලිගාව දෙස නැවත බලන්නේ කෙසේ ද?’
5 ජලය මා ගෙල දක්වා නැඟ ආවේ ය.
මුහුද මා වට කරගත්තේ ය.
මුහුදු පැළෑටි මාගේ හිස වටේ එතුණේ ය.
6 මම කඳු පත්ලට බැස ගියෙමි;
සදහට ම අගුල්වලින් මා හිර කර තබන ලොවකට බැස ගියෙමි.
අහෝ! මාගේ දෙවි සමිඳුනි, එහෙත්, ඔබ මාගේ ප්‍රාණය පාතාලයෙන් ගොඩගත් සේක.
7 මාගේ පණ කෙන්ද මැලවී යද්දී, මම සමිඳුන් සිහි කෙළෙමි.
මාගේ අයැදුම ඔබ වෙත නැඟුණේ ය;
ඔබේ ශුද්ධ මාලිගාවට පැමිණියේ ය.
8 බොරු දෙවිවරුන් නමදින්නෝ ඔබට ඇති පක්ෂපාතකම පැහැර හරිති.
9 එහෙත්, මම තුති මුවින් පූජා ඔප්පු කරන්නෙමි.
බාර වූ දේ ගෙවන්නෙමි.
ගැළවීම සමිඳුන්ගෙන් ය.”
10 සමිඳාණෝ මත්ස්‍යයාට කතා කළ සේක. එවිට ඌ ජෝනා ගොඩබිමට වැමෑරී ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW