ජෙරමියා – 13 වන පරිච්ඡේදය –

හණ රෙද්ද ගැන උපමාව

1 සමිඳාණන් වහන්සේ මට කතා කොට, ”නුඹ ගොස් හණ රෙද්දක් මිලේට ගෙන නුඹේ ඉඟටිය වටා එය ඇඳගන්න; එය වතුරේ නොදමන්නැ”යි වදාළ සේක. 2 මම ද සමිඳාණන් වහන්සේ මට වදාළ පරිදි හණ රෙද්දක් මිලේට ගෙන එය ඉඟටිය වටා ඇඳගත්තෙමි. 3 එවිට සමිඳාණන් වහන්සේ යළිත් මට කතා කරමින්, 4 ”නුඹ මිලේට ගත්, නුඹේ ඉඟටිය වටා ඇඳගෙන සිටින හණ රෙද්ද රැගෙන යුප්‍රටීස් ගඟ ළඟට ගොස් එහි පර්වත විවරයක එය සඟවා තබන්නැ”යි වදාළ සේක.
5 මම ද සමිඳාණන් වහන්සේ මට අණ කළ ලෙස ගොස් යුප්‍රටීස් ගඟ ළඟ එය සඟවා තැබීමි.
6 කීප දවසකට පසු සමිඳාණන් වහන්සේ මට කතා කොට, ”යුප්‍රටීස් ගඟ ළඟට යළිත් ගොස්, එහි සඟවා තබන්නට මා නුඹට අණ කළ හණ රෙද්ද එතැනින් ගන්නැ”යි වදාළ සේක. 7 මම ද යුප්‍රටීස් ගඟ ළඟට ගොස් හණ රෙද්ද සඟවා තැබූ තැනින් එය සොයාගතිමි. එය නාස්ති වී වැදගැම්මකට නැති වී තිබිණි.
8 එවිට සමිඳාණන් වහන්සේ මට කතා කරමින් මෙසේ වදාළ සේක: 9 ”මා ජුදා රටේ උඩඟුකම ද ජෙරුසලමේ මහා උඩඟුකම ද විනාශ කරන්නේ මේ අයුරින් ය. 10 මාගේ වචනයට සවන් නොදෙන, තමන්ගේ සිතුමතේට මුරණ්ඩුකමින් හැසිරෙන, අන් දෙවිවරුන්ට සේවය කරමින් නමස්කාර කරන පිණිස ඔවුන් පසුපස දුවන, මේ දුෂ්ට සෙනඟ වැදගැම්මකට නැති මේ හණ රෙද්ද හා සමාන වනු ඇත. 11 හණ රෙද්ද ඉඟටිය වටා බැඳ ඇත්තෙකු මෙන් ඉශ්රායෙල්හි සියලු සෙනඟ ද ජුදාහි සියලු සෙනඟ ද මට බැඳී සිටින්න මම කරුණු සැලසීමි. මා එසේ කෙළේ, ඔවුන් මාගේ සෙනඟ වී, මාගේ නාමයට ප්‍රශංසාවක් ද ගෞරවයක් ද වන පිණිස ය. එහෙත්, ඔව්හු මට කීකරු නො වූ හ.”

මිදියුස භාජනය ගැන උපමාව

12 ”තවද ජෙරමියා, ඉශ්රායෙල් සෙනඟට කතා කොට, ‘සියලු භාජන මුද්‍රික පානයෙන් පිරවිය යුතු යයි නුඹලාගේ දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේකැ’යි කියන්න. ඔවුන් නුඹට කතා කොට, ‘හැම භාජනයක් ම මුද්‍රික පානයෙන් පුරවා තැබිය යුතු බව අපි දනිමු’යි කියනු ඇත. 13 එවිට ස්වාමීන් වන මා මේ දේශයේ සියලු ජනයාට එනම්, පූජකයන්ට ද දිවැසිවරුන්ට ද දාවිත්ගේ පරපුරෙහි සියලු රජවරුන්ට ද ජෙරුසලම්හි සියලු වැසියන්ට ද වෙරි වන තුරු මුද්‍රික පානය පොවන බව ඔවුන්ට කියන්න. 14 ඉන්පසු මම ඔවුන්ගේ පියවරුන් ද පුත්‍රයන් ද සියලු සෙනඟ ද එකිනෙකා ඝට්ටනය කොට විනාශ කරන්නෙමි. ඔවුන් විනාශ නොවන හැටියට මා ඔවුන්ට දයා වන්නේ වත්, කරුණා කරන්නේ වත්, අනුකම්පා කරන්නේ වත් නැත.”

අහංකාරයට විරුද්ධ ව අවවාද

15 ඉශ්රායෙල් ජනයෙනි, සමිඳාණෝ කතා කළ සේක.
අහංකාර නොවී එතුමාණන්ට සවන් දෙන්න.
16 ඔබ හැමගේ දෙවි සමිඳුන් අන්ධකාරය පමුණුවන්න පෙර,
ඔබ හැමගේ පාද අඳුරු කඳුවල පැකිළෙන්න පෙර,
ඔබ බලා සිටින ආලෝකය එතුමාණන් ඝනාන්ධකාරය කරන්න පෙර,
එතුමාණන්ට ගෞරව කරන්න.
17 ඔබ සවන් නොදෙන්නහු නම්, ඔබේ අහංකාරය නිසා මම රහසිගත ව හඬමි.
සමිඳුන්ගේ සෙනඟ වහල්කමට ගෙනයනු ලැබූ නිසා මම හඬා වැලපෙමි.
බොහෝ සෙයින් කඳුළු වගුරන්නෙමි.
18 රජුට හා මවු බිසවට කතා කරමින්,
”කිරුළු හිසින් ගිලිහී වැටී ඇති නිසා සිහසුනින් බැස පහතට එන්නැ”යි සමිඳාණෝ වදාළ සේක.
19 දකුණු දිශාවේ නගර වටලා ඇත;
ඒවාට පිවිසෙන්නට කිසිවෙකුට නොහැකි ය.
මුළු ජුදා රට වහල්කමට ගෙන ගොස් ඇත;
සහමුලින් ම එසේ ගෙන ගොස් ඇත.
20 ජෙරුසලම් ජනයෙනි, ඇස් ඔසවා බලන්න;
උතුරු දෙසින් එන්නේ කවරෙක් ද කියා බලන්න.
ඔබට භාර දුන් කදිම රැළක් වැනි වූ ඔබේ සෙනඟ කොහේ ද?
21 ඔබේ මිතුරෝ යයි ඔබ සිතූ සෙනඟ, ඔබේ නායකයන් වශයෙන් පත් කරනු ලැබූ විට ඔබ කුමක් කියන්නහු ද?
විළිරුජාවෙන් පෙළෙන ස්ත්‍රියක සේ වේදනාවෙන් ඔබ පෙළෙන්නේ නැද් ද?
22 ඔබට මෙසේ සිදු වන්නේ මන්දැ යි, ඔබේ ඇඳුම් ගලවාදැමූ විට ඔබට නින්දාවක් නැත්තේ මන්දැ යි ඔබ මෙනෙහි කර බැලූ විට ඔබේ අපරාධ ඉමහත් නිසා යයි ඔබට පෙනී යනු ඇත.
23 එතියෝපිය මිනිසෙකුට සිය හමේ පාට වත්, කොටියෙකුට උගේ ඇඟේ ලප වත් කොයි ලෙසින් වත් වෙනස් කළ හැකි ද?
එසේ කළ හැකි නම්, නපුර කරන්න හුරුපුරුදු ඔබ හැමටත් යහපත කරන්න හැකි වෙයි.
24 ”මරුකතරේ සුළඟට ගසා යන පිදුරු මෙන් සමිඳුන් වන මා ඔබ හැම විසුරුවාදමනු ඇත.
25 ඔබ සමිඳුන් අමතක කළ බැවින්, අන් දෙවිවරුන් විශ්වාස කළ හෙයින් ඔබ හැමට මැන තිබෙන උරුමයත්, ඉරණමත් මෙසේ වන්නේ යයි සමිඳාණෝ වදාරන සේක.
26 සමිඳාණෝ ම ඔබේ ඇඳුම් ගලවාදමා ඔබේ ලජ්ජාව හෙළි කරන සේක.
27 හෙල් පිටත්, එළිමහනේත් ඔබේ පරදාරකම් ද වෙළඹකගේ මෙන් හේෂාරවය කිරීම් ද ඔබේ දුරාචාර ද සල්ලාලකම් ද සමිඳාණන් දැක ඇති බැවින් ඉශ්රායෙල් ජනයෙනි, ඔබට වන විපතක මහත!
කවදා ඔබ පිරිසිදු වන්නහු ද?”

Suba Asna - සුබ අස්න

FREE
VIEW