ගීතාවලිය – 99 වන පරිච්ඡේදය –

ශ්‍රේෂ්ඨ දෙවි රජාණෝ

1 සමිඳාණෝ රජකම් කරන සේක.
විජාතීහු බියෙන් කැළෙඹන්නෝ ය.
එතුමාණෝ කෙරුබ්වරුන්ට ඉහළින් සිහසුන් අරා වැඩ සිටින සේක.
මිහිතලය කම්පා වන්නේ ය.
2 සමිඳාණෝ සියොන් කන්දෙහි උතුම් වන සේක;
සියලු ජාතීන්ට ඉහළින් වැජඹෙන සේක.
3 අති උතුම් තෙද බලැති එතුමන්ගේ නාමය සියල්ලෝ පසසන්නෝ ය.
එතුමාණෝ සුවිශුද්ධ වන සේක.
4 අති බලසම්පන්න රජාණන් වහන්ස, ඔබ යුක්තියට ප්‍රේම කරන සේක,
ඔබ ඉශ්රායෙල්හි සාධාරණකම පිහිටෙවු සේක;
ඔබ දැහැමිකම සහ යුක්තිය ඉටු කළ සේක.
5 අපේ දෙවි සමිඳුන් උසස් කොට පසසන්න;
එතුමන්ගේ පාපුටුව ළඟ වැඳ වැටෙන්න;
එතුමාණෝ සුවිශුද්ධ වන සේක.
6 එතුමන්ගේ පූජකවරුන් අතර මෝසෙස් ද ආරොන් ද වූ හ.
එතුමන්ගේ නාමය අයැදි අය අතර සාමුවෙල් ද විය.
ඔවුන් සමිඳුන් අයැදි විට එතුමාණෝ පිළිතුරු දුන් සේක.
7 වලා ටැඹෙන් එතුමාණෝ ඔවුන්ට කතා කළ සේක.
එතුමන් ඔවුන්ට දුන් අණපණත් ද නීති ද ඔව්හු ඉටු කළෝ ය.
8 අපේ දෙවි සමිඳුනි, ඔබ ම ඔවුන්ට පිළිතුරු දෙන සේක.
ඔබ ඔවුන්ට දැඩි ලෙස දඬුවම් දුන් නමුත්, කමා කරන දෙවිඳුන් ඔබ බව ඔවුන්ට පෙන්වූ සේක.
9 අපේ දෙවි සමිඳුන් පසසන්න, එතුමන්ගේ ශුද්ධ කන්ද ළඟ වැඳ වැටෙන්න.
අපේ දෙවි සමිඳාණෝ සුවිශුද්ධ ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW