ගීතාවලිය – 97 වන පරිච්ඡේදය –

සමිඳුන්ගේ රාජ බලය

1 සමිඳාණෝ රජකම් කරන සේක, මිහිතලය ප්‍රීති වේ වා!
දිවයින් සියල්ල ප්‍රීති ප්‍රමෝද වේ වා!
2 වලාකුළු සහ අඳුර එතුමන් වට කර සිටින්නේ ය. දැහැමිකම සහ යුක්තිය එතුමන්ගේ සිහසුනේ පදනම් ය.
3 එතුමාණන් පෙරටුවෙන් ගින්නක් යන්නේ ය;
එය එතුමන් සිසාරා සිටින සතුරන් දවාලන්නේ ය.
4 එතුමන්ගේ විදුලිසැර කෙටීම ලෝකයට ආලෝකය දෙයි;
පොළොව එය දැක කම්පා වෙයි.
5 කඳු හෙල් සමිඳාණන් දැක ඉටි මෙන් උණු වන්නේ ය;
මුළු මිහිතලය ද සමිඳුන් දැක එසේ වන්නේ ය.
6 දෙව්ලොව එතුමන්ගේ සාධාරණකම ප්‍රකාශ කරන්නේ ය;
සකල ජනතාවෝ එතුමන්ගේ මහිමය නරඹන්නෝ ය.
7 රූප වඳින්නෝ ද පිළිම ගැන පාරට්ටු කරන්නෝ ද ලජ්ජා වෙත් වා!
සියලු දෙවි දේවතාවෝ දෙවිඳුන්ට හිස නමත් වා!
8 සියොන් කන්ද ඊට සවන් දී තුටින් ඉපිලේ වා!
සමිඳුනි, ඔබේ දේව පරිපාලනය නිසා ජුදාහි නගර සතුටු වේ වා!
9 සව් බලැති දෙවි සමිඳුනි, ඔබ මුළු පොළො‍් තලයට ශ්‍රේෂ්ඨ වන සේක;
සියලු දෙවි දේවතාවන්ට වඩා ඔබ උතුම් වන සේක.
10 සමිඳුනි, ඔබ නපුරට වෛර කරන්නන්ට ප්‍රේම කරන සේක;
ඔබට ගැති වූවන්ගේ ජීවිත ඔබ ආරක්ෂා කරන සේක;
දුෂ්ටයාගේ බලයෙන් ඔබ ඔවුන් මුදාලන සේක.
11 දැහැමියන් මත එළිය බබළයි;
යහපත් අය මත සතුට දිළිසෙයි.
12 සැදැහැවතුනි, සමිඳුන් තුළ ප්‍රීති ප්‍රමෝද වෙත් වා!
එතුමන්ගේ සුවිශුද්ධ භාවය සිහි කොට එතුමන්ට ප්‍රශංසා කරත් වා!

Suba Asna - සුබ අස්න

FREE
VIEW