ගීතාවලිය – 95 වන පරිච්ඡේදය –

දෙවිඳුන් නැමදීමේ ගීයක්

1 එන්න, සමිඳුන් හට ප්‍රීති ප්‍රමෝදයෙන් ගායනා කරමු;
අප මිදූ පර්වතයාණන් හට සාදු හඬ නඟා තුති ගී ගයමු.
2 තුති ගී ගයා එතුමන් අබිමුවට ගමන් කරමු;
එතුමන් හට ජය මංගල ගී ගයමු.
3 මන්ද, සමිඳාණෝ, බලසම්පන්න දෙවිඳාණෝ වන සේක;
උතුම් දේවාතිදෙවිඳාණෝ වන සේක.
4 මිහිතල ගැඹුරු තැන් එතුමන් අතෙහි ය;
කඳු ශිඛර එතුමන්ගේ ය.
5 එතුමාණන් මුහුද සෑදූ බැවින් එය එතුමාණන්ගේ ය;
එතුමන් වියළි බිම් ද සෑදූ බැවින් එය ද එතුමන්ගේ ය.
6 එන්න, හිස නමා එතුමන් හට නමස්කාර කරමු;
අප මැවූ සමිඳුන් අබිමුව දණින් වැටෙමු.
7 එතුමාණෝ අපේ දෙවිඳාණෝ ය.
අපි එතුමන්ගේ සෙනඟ ය;
එතුමාණන් පෝෂණය කරන බැටළුවෝ ය.
එතුමාණන් පවසන දේට සවන් දුන්නොත් යහපත!
8 ”පාළුකරයේ මස්සා නම් ස්ථානයේ සිටි දවසේ දී මෙන් ද මෙරිබා නම් ස්ථානයේ දී මෙන් ද ඔබේ සිත් දැඩි කර නොගන්න.
9 එහි දී ඔබේ ආදි පියවරු මා පරීක්ෂා කළෝ ය.
මාගේ ක්‍රියා දැක දැකත් මට අභියෝග කළෝ ය.
10 සතළිස් වසරක් මම ඒ පරපුර පිළිකුල් කෙළෙමි:
‘ඔව්හු වනාහි සිත් නොමඟට හරවා ගෙන යන මාගේ මාර්ගය නොදත් ජනතාවකි.
11 කවදාවත් ඔව්හු මා දෙන රටට ඇතුළු නොවන්නෝ ය’යි මම උදහසින් කිපී දිවුරුම් දුන්නෙමි.”

Suba Asna - සුබ අස්න

FREE
VIEW