ගීතාවලිය – 92 වන පරිච්ඡේදය –

ප්‍රශස්ති ගීතයක්

සබත් දින ගායනය සඳහා ය.
1 සමිඳුනි, ඔබට තුති පිදීම හොබනේ ය;
මහෝත්තමයාණෙනි, ඔබේ නාමය වර්ණනා කිරීම යහපත් ය.
2 උදෑසන ඔබේ පෙම පැවසීම හොබනේ ය.
රෑ යාමයේ දී ඔබේ විශ්වාසවන්තකම පැවසීම යහපත් ය.
3 තත් දසයේ වීණාවේ හා කුඩා වීණාවේ වාදන මඟින් ද මහ වීණාවේ තනුවට ද ඔබේ ගුණ වැණීම හොබනේ ය.
4 සමිඳුනි, ඔබේ වීර ක්‍රියාවෝ මා සතුටට පත් කරන්නෝ ය.
ඔබේ දෑතෙහි ක්‍රියා ගැන මම තුති ගී පවසමි.
5 ඔබේ ක්‍රියා කොපමණ උත්තරීතර ද?
ඔබේ සිතුවිලි කොපමණ ගැඹුරු ද?
6 මෝඩ මිනිසා මේ ගැන නොදන්නේ ය;
අනුවණයන්ට මෙය තේරුම්ගත නොහැකි ය.
7 දුදනන් වල් පැළෑටි මෙන් වැඩෙන නමුත්, නපුරුකම් කරන සියල්ලන් සශ්‍රීක වන නමුත්, එතුමාණෝ සදහට ම ඔවුන් වනසන සේක.
8 එහෙත් සමිඳුනි, සදාකාලයට ම ඔබ මහෝත්තමයාණෝ ය.
9 අහෝ සමිඳුනි!
ඔබේ සතුරෝ එසේ ය, ඔබේ සතුරෝ වනසනු ලබන්නෝ ය.
සියලු නපුරුකම් කරන්නෝ විසුරුවනු ලබන්නෝ ය.
10 ඔබ මා කුළු හරකෙකු මෙන් ශක්තිමත් කළ සේක;
ඔබ නව තෙලින් මා ආලේප කළ සේක.
11 මාගේ සතුරන්ගේ පරාජය මම දෑසින් දුටුවෙමි.
දුදනන්ගේ දුක් විලාපයට සවන් දිනිමි.
12 දැහැමියෝ තාල වෘක්ෂ මෙන් සරුසාර වන්නෝ ය;
ලෙබනොන්හි කිහිරි ගස් මෙන් වැඩෙන්නෝ ය.
13 සමිඳුන්ගේ නිවෙසෙහි ඔබ ඒවා රෝපණය කළ සේක.
දේව මණ්ඩපයෙහි ඒවා සරු ලෙස වැඩෙන්නේ ය.
14 වයස ගිය පසු පවා ඒවා පලදාව දෙන්නේ ය;
සාරවත් ව නිල් පැහැ ව ඒවා පවතින්නේ ය.
15 එසේ වන්නේ, සමිඳාණන් සාධාරණ බව ද මාගේ ආරක්ෂකයාණන් තුළ වරදක් නොමැති බව ද දක්වනු පිණිස ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW