ගීතාවලිය – 89 වන පරිච්ඡේදය –

විශ්වාසී දෙවිඳුන්ට තුති ගීයක්

එස්රාහි උපන් ඒතාන් නමැත්තාගේ කාව්‍යයකි.
1 සමිඳුනි, ඔබේ තිර පෙම ගැන මම සදහට ම ගයන්නෙමි.
ඔබේ විශ්වාසවන්තකම පරපුරෙන් පරපුරට පවසන්නෙමි.
2 ඔබේ තිර පෙම සදහට ම පවතින බව මම ඒකාන්තයෙන් ම පිළිගනිමි;
ඔබේ විශ්වාසවන්තකම අහස මෙන් තිරසර බව මම දනිමි.
3 ඔබ මෙසේ වදාළ සේක:
”මා තෝරාගත් තැනැත්තා සමඟ මම ගිවිසුමක් කෙළෙමි;
මාගේ සේවක දාවිත්ට මම මෙසේ දිවුළෙමි:
4 ‘මම ඔබේ පෙළපත සදහට ම පිහිටුවන්නෙමි.
පරපුරෙන් පරපුරට ඔබේ සිහසුන ගොඩනඟන්නෙමි.’ ”
5 අහෝ සමිඳුනි!
ඔබ කරන අසිරිමත් ක්‍රියා ගැන අහස් තලය ගී ගයන්නේ ය.
සුරලොව පිරිස් ඔබේ විශ්වාසවන්තකම ගැන ගීතිකා කරන්නෝ ය.
6 සමිඳුන්ට සම කළ හැකි කිසිවෙක් අහස් තලයෙහි ඇද් ද?
දෙවිවරුන් අතර සමිඳුන්ට සමාන වනුයේ කවරෙක් ද?
7 සුද්ද සෙන් සබ මැද ඔබට ගරුබිය දක්වන්නෝ ය.
සියල්ලෝ ඔබට බියෙන් සිටින්නෝ ය.
8 සව් බලැති දෙවි සමිඳුනි, ඔබ හා සම, බලසම්පන්න අන් කවරෙක් ද?
සමිඳුනි, සියල්ලෙහි දී ඔබ විශ්වාසවන්ත ය.
9 ඔබ චණ්ඩ සමුද්‍රය පාලනය කරන සේක;
එහි රළපතර නඟින කල ඔබ ඒවා දමනය කරන සේක.
10 ඔබ රාහබ් නම් දිය රකුසා කැබලි කොට සුණු විසුණු කරදැමූ සේක;
සිය බාහු බලය පා සතුරන් පලවා හළ සේක.
11 අහස් තලය ඔබේ ය, මිහි තලය ද ඔබේ ය, පොළොවත්, එහි ඇති සියල්ලත් ඔබ මැවූ සේක.
12 උතුරත්, දකුණත් ඔබ මැවූ සේක;
තාබෝර් සහ හර්මොන් යන කඳු
ඔබේ නමට ප්‍රීතියෙන් ගී ගයන්නේ ය.
13 ඔබේ බාහුව ප්‍රබල ය;
ඔබේ අත බලවත් ය.
ඔබේ දකුණත ජයෙන් ඔසවා ඇත්තේ ය.
14 සාධාරණකම සහ යුක්තිය ඔබ සිහසුනේ පදනම් ය;
තිර පෙම හා සත්‍යය ඔබ කරන සියල්ලෙහි වේ.
15 සමිඳුනි, ගී ගයමින් ඔබ නමදින්නෝ ද ඔබේ කරුණා ආලෝකය තුළ හැසිරෙන්නෝ ද භාග්‍යවන්තයො‍් ය.
16 දවස පුරා ඔව්හු ඔබ අබියස ප්‍රීති ප්‍රමෝද වන්නෝ ය;
ඔබේ දැහැමිකම ගැන වෙසෙසින් පසසන්නෝ ය.
17 ඔබ අපට මහිමාන්විත ජයග්‍රහණ දෙන සේක.
ඔබේ කරුණාවෙන් ඔබ අපට ජය අත්කර දෙන සේක.
18 සමිඳුනි, ඔබ අපේ ආරක්ෂාකරු අපට තෝරා දුන් සේක.
ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවිඳුන් වන ඔබ අපේ රජු අපට දුන් සේක.

දාවිත්ට දේව පොරොන්දුව

19 කලකට පෙර ඔබ දර්ශනය වී, බැතිමතුන් හට කතා කොට මෙසේ වදාළ සේක:
”මම වීරයෙකු හිස මත කිරුළ තැබුවෙමි;
මාගේ සෙනඟ අතරෙන් තෝරාගත් තැනැත්තෙකුට සිහසුන දිනිමි.
20 මා සේවක දාවිත් මම සොයාගත්තෙමි;
ශුද්ධ තෛලයෙන් මම ඔහු ආලේප කෙළෙමි.
21 මාගේ ශක්තිය නිරතුරු ඔහු සමඟ වන්නේ ය;
මාගේ බලය ඔහු සවිමත් කරන්නේ ය.
22 කිසි ම සතුරෙක් ඔහුට විරුද්ධ ව නැඟිට ජය ගන්නේ නැත;
කිසි ම දුදනෙක් ඔහු පරාජය කරන්නේ නැත.
23 මම ඔහුගේ එදිරිකරුවන්ට පහර දෙන්නෙමි;
ඔහුට වෛර කරන සියල්ලන් වනසාලන්නෙමි.
24 මාගේ විශ්වාසවන්තකම සහ තිර පෙම ඔහු සමඟ වන්නේ ය;
මාගේ නාමයෙන් ඔහු ජයග්‍රාහී වන්නේ ය.
25 මම ඔහුගේ බලය මහ මුහුදේ පිහිටුවන්නෙමි;
එය ගංගාව දක්වා පතුරුවා හරින්නෙමි.
26 ඔහු මට මොරගසමින්, ‘ඔබ මාගේ දෙවිඳාණෝ ය, මාගේ පියාණෝ ය, මාගේ ආරක්ෂක පර්වතයාණෝ ය’ කියන්නේ ය.
27 ඔහු මාගේ කුලුඳුල් පුතණුවන් කොට ද මිහි පිට රජුන් අතර අග රජු කොට ද මම ඔහු පත් කරන්නෙමි.
28 මම ඔහුට සදහට ම ප්‍රේම කරන්නෙමි;
ඔහු උදෙසා මාගේ ගිවිසුම ස්ථිර ව පවත්නේ ය.
29 ඔහුගේ රාජ වංශය අහස මෙන් තිරසර ව පවතින්නේ ය;
ඔහුගේ පෙළපතෙන් ම කෙනෙක් නිරතුරු රජකමට පත් වන්නේ ය.
30 ඔහුගේ දරුදැරියෝ මාගේ නීතියට අකීකරු වන්නෝ නම්, මාගේ නියමයන්ට අනුව ජීවත් නොවන්නෝ නම්,
31 ඔව්හු මාගේ නියෝග නොසලකා හරින්නෝ නම්, මාගේ අණපණත් නොපිළිපදින්නෝ නම්,
32 එවිට, ඔවුන්ගේ කැරලිගැසීමට දණ්ඩෙන් ද ඔවුන්ගේ අපරාධවලට කස පහරින් ද මම දඬුවම් දෙන්නෙමි.
33 එහෙත්, මම මාගේ ප්‍රේමය කවදාවත් දාවිත්ගෙන් ඉවත් නොකරන්නෙමි.
ඔහු කෙරෙහි මාගේ විශ්වාසවන්තකම නිෂ්ප්‍රභ නොකරන්නෙමි.
34 මම මාගේ ගිවිසුම කඩ නොකරන්නෙමි;
පොරොන්දු කිසිවක් වෙනස් නොකරන්නෙමි.
35 මම මාගේ ශුද්ධවන්තකම පිට සදහට ම දිවුළෙමි;
එබැවින් දාවිත්ට මම බොරුවක් නොකියන්නෙමි.
36 ඔහුගේ පෙළපත සදහට ම පවතින්නේ ය;
ඔහුගේ සිහසුන මා අබියස හිරු මෙන් බබළන්නේ ය.
37 ඔහුගේ පෙළපත සඳ මෙන් දිගට ම ජීවත් වන්නේ ය;
අහස පවත්නා තෙක් එය තිරසර ව පවතින්නේ ය.”

පරාජය ගැන විලාපය

38 එහෙත්, ඔබ ඒ රජ කෝපයෙන් පහකළ සේක.
ඔබේ අබිසෙස් ලත් තැනැත්තා කෙරෙහි උදහසින් රොස් වූ සේක;
39 ඔබේ සේවකයා සමඟ ඔබ කළ ගිවිසුම ඔබ කඩකළ සේක.
ඔහුගේ කිරුළ බිම හෙළා කෙලෙසා දැමූ සේක.
40 ඔබ ඔහුගේ පවුරු සියල්ල බිඳදැමූ සේක;
ඔහුගේ බලකොටු නටබුන් කළ සේක.
41 මඟ යන එන සියල්ලෝ ඔහුගෙන් කොල්ල කන්නෝ ය;
ඔහුගේ අසල්වැසියෝ ඔහුට සමච්චල් කරන්නෝ ය.
42 ඔබ ඔහුගේ එදිරිකරුවන්ට ජය අත්කර දුන් සේක;
ඔබ ඔහුගේ සියලු සතුරන්ට ප්‍රීතිය ගෙන දුන් සේක.
43 ඔබ උදහසින් ඔහුගේ කඩු මුවහත නමාදැමූ සේක;
සටනේ දී ඔහුගේ කඩුව එසවීමට ඉඩ නොහැරිය සේක.
44 ඔබ ඔහුගේ ජයකොන්තය පැහැර ගත් සේක;
ඔහුගේ සිහසුන බිම හෙළූ සේක.
45 ඔබ ඔහුගේ යොවුන් විය කෙටි කළ සේක.
ඔහු අපකීර්තියට පත් කළ සේක.

විමුක්තිය සඳහා යැදුම

46 සමිඳුනි, ඔබ සදහට ම අපෙන් ඈත් වී සිටින සේක් ද?
කොපමණ කලක් ඔබේ උදහස් ගින්න ඇවිලෙන්නේ ද?
47 මාගේ කාලය කොපමණ කෙටි දැ යි සිහි කරනු මැනව.
මන්ද, මැරෙන සුලු අය මෙන් ඔබ සියලු මිනිසුන් මැවූ සේක.
48 ජීවමාන කවරෙක් නම්, මරණයට ගොදුරු නොවන්නේ ද?
පාතාල ලෝකයේ බලයෙන් කවරෙක් තමා ම මුදාගන්නේ ද?
49 අහෝ සමිඳුනි!
ඔබ කලින් පෑ තිර පෙම දැන් කොතැන්හි ද?
දාවිත්ට දුන් විශ්වාසවන්ත පොරොන්දු දැන් කොහි ද?
50 සමිඳුනි, ඔබේ සේවකයා ලබන නින්දාව සිහි කරනු මැනව.
විජාතීන්ගේ නින්දාව මා විඳින රඟ සිහි කරනු මැනව.
51 සමිඳුනි, ඔබේ සතුරෝ ඔබේ ආලේප ලත් රජුට අපහාස කරන්නෝ ය;
ඔහු යන යන තැන ඔහුට ගරහන්නෝ ය.
52 සමිඳුන්ට සදහට ම ආසිරි වේ වා!

Suba Asna - සුබ අස්න

FREE
VIEW