ගීතාවලිය – 8 වන පරිච්ඡේදය –

දේව මහිමය හා මිනිසාගේ උදාරත්වය

1 සමිඳුනි, අපේ සමිඳුනි, ඔබේ නාමය ලෝ පුරා කොතරම් මහිමාන්විත වන්නේ ද?
ඔබේ තේජෝ මහිමය සගලොවින් එපිට පිළිරැව් දෙන්නේ ය.
2 කිරි දරු බිළිඳු සිඟිති මුවින් ඔබ සතුරා ද පළිගන්නා ද නිහඬ කළ සේක.
රුපු ඔද බිඳිමින් බලකොටුවක් ද ඉදි කළ සේක.
3 සිය’තින් ඔබ නිම කළ අහස් තලය ද ඔබ පිහිටෙවූ සඳ මඬල ද තරු වැල් ද මා නරඹන කල්හි,
4 මිනිසා ගැන සිතන්නට තරම් ඔහු කවරෙක් ද?
මිනිසා ගැන සලකන්නට තරම් ඔහු සතු වටිනාකම කුමක් දැ යි මට සිතෙන්නේ ය.
5 එහෙත්, ඔබ මිනිසා මවා ඇත්තේ, දෙවිඳුන්ට පමණක් දෙ වැනි වන ලෙසින් ය.
තෙද යස කිරුළක් ඔහු හිස පළඳන ලද්දේ ය.
6 ඔබ මැවූ හැම දේ ඔහුට යටත් කළ සේක.
ඔබ ඔහු මුළු සක්වළට අධිපති කළ සේක.
7 ගව, බැටළු ආදී සතුන් ද වන සතුන් ද ඔහුට යටත් කළ සේක.
8 ආකාශ පක්ෂීන් හා මුහුදු මසුන් ද සත් සමුදුර හැම සතුන් ද කෙරේ අධිපතිකම මිනිසා හට පවරා දුන් සේක.
9 දෙවිඳුනි, අපේ සමිඳුනි, ඔබේ නාමය ලෝ පුරා කොතරම් මහිමාන්විත වන්නේ ද?

Suba Asna - සුබ අස්න

FREE
VIEW