ගීතාවලිය – 75 වන පරිච්ඡේදය –

ප්‍රශංසාවේ සහ විනිශ්චයයේ ගීතය

ආසාප්ගේ කාව්‍යයකි. ගීතයකි.
1 දෙවිඳුනි, අපි ඔබට තුති කරමු;
ඔබේ ප්‍රබල ක්‍රියා ප්‍රකාශ කරමු;
ඔබේ නාමයට අයැද තුති කරමු.
2 දෙවි තුමාණෝ මෙසේ වදාරන සේක:
”විනිශ්චය කරන කාලය මා නියමකර ඇත.
එවිට මම යුක්තිසහගත ව විනිශ්චය කරන්නෙමි.
3 පොළොවත්, එහි සියලු වැසියෝත් කම්පා වන්නෝ ය.
එසේ වුවත්, පොළොවේ කණු සවිමත් ව තබන්නේ මම ය.”
4 මම මෙසේ කියමි:
”පාරට්ටු කරන්නෙනි, පාරට්ටු නවතාලන්න;
දුදනෙනි, අහංකාරකමින් උදම් නොවන්න;
5 මහෝත්තමයාණන්ට විරුද්ධ ව අහංකාර නොවන්න;
මැවුම්කරුන් හට විරුද්ධ ව උඩඟුවෙන් කතා නොකරන්න.
6 පෙර අපර දෙදිගින් හෝ උතුරු දකුණු දෙදිගින් හෝ විනිශ්චය නොවන්නේ ය,
එය නොඑන්නේ ය.
7 එහෙත්, විනිශ්චය පැමිණෙන්නේ දෙවිඳුන්ගෙන් ය.
කෙනෙකු පහතට හෙළන්නේ ද කෙනෙකු ඉහළට ඔසවන්නේ ද
උන් වහන්සේ ම ය.
8 සමිඳුන් අතෙහි කුසලානකි;
කෝපයෙන් පැසුණු මිදි රසින් එය පිරී ඇත.
එතුමාණෝ එයින් බිඳක් වත්කරන සේක.
මිහි පිට දුදනෝ එහි අන්තිම බිඳ දක්වා ම බොන්නෝ ය.
9 මම සදහට ම ජාකොබ්ගේ දෙවිඳුන් පසසන්නෙමි;
එතුමන් හට සදහට ම ගී ගයන්නෙමි.
10 දුදනන්ගේ ඔද මම බිඳ ලන්නෙමි.
එහෙත්, සුදනන්ගේ බලය ඔසවනු ලබන්නේ ය.”

Suba Asna - සුබ අස්න

FREE
VIEW