ගීතාවලිය – 71 වන පරිච්ඡේදය –

මහල්ලෙකුගේ අයැදුම

1 අහෝ සමිඳුනි!
සරණ පතා මම ඔබ වෙත පැමිණියෙමි.
කිසි කලක මා ලජ්ජාවට පත් නොකළ මැනව!
2 ඔබේ සාධාරණකම නිසා මට පිහිට වී මා මුදාලුව මැනව!
මට සවන් දී මා ගැළෙවුව මැනව!
3 ඔබ මාගේ පර්වතය ද බලකොටුව ද වන බැවින් ඔබ මට රැකවරණය දෙන පර්වතයක් වුව මැනව!
මා මුදාලන බලකොටුවක් වුව මැනව!
4 මාගේ දෙවිඳුනි!
දුෂ්ටයන්ගේ බලයෙන් මා මුදාගත මැනව;
අපරාධකරුගේ ද දුදනාගේ ද ග්‍රහණයෙන් මා මිදුව මැනව!
5 මහෝත්තම දෙවි ස්වාමීනි, ඔබ මාගේ බලාපොරොත්තුව වන සේක.
සමිඳුනි, මාගේ තරුණ වියේ සිට මාගේ විශ්වාසය මම ඔබ තුළ තැබුවෙමි.
6 උපන් දා සිට ඔබ මට පිහිට වූ සේක;
මවු කුසේ සිට ඔබ මා රැකගත් සේක.
මම ඔබ ගැන නිරතුරු ප්‍රශංසා කරන්නෙමි.
7 මම වනාහි බොහෝ දෙනෙකුට ගැටළුවක් මෙන් වූයෙමි.
මන්ද, ඔබ මාගේ බලවත් රක්ෂස්ථානය වූ සේක.
8 මාගේ මුඛය ඔබ පැසසීමෙන් පිරී ඇත්තේ ය.
මම දවස පුරා ඔබ මහිමය ප්‍රකාශ කරන්නෙමි.
9 මහලු වියේ දී මා ඉවත් නොකළ මැනව;
මාගේ ශක්තිය පිරිහෙන කල මා අත් නොහැරිය මැනව!
10 මාගේ සතුරෝ මට විරුද්ධ ව කතා කරන්නෝ ය.
මගේ පණ නැසීමට බලා සිටින්නෝ එකට කුමන්ත්‍රණය කරන්නෝ ය.
11 ”දෙවිඳාණෝ ඔහු අත්හැරිය සේක.
ඔහු ගැළවීමට කිසිවෙකු නැති බැවින් අපි ඔහු ලුහුබැඳ අල්ලාගනිමු”යි ඔව්හු කියන්නෝ ය.
12 මාගේ දෙවිඳුනි!
මාගෙන් ඈත් නුවුව මැනව!
අනේ මාගේ දෙවිඳුනි!
මට සහාය වීමට කඩිනමින් වැඩිය මැනව!
13 මට පහර දෙන්නෝ පරාජය වී වැනසෙත් වා!
මට හානි කරන්නට සොයන්නෝ ලජ්ජාවටත්, අපකීර්තියටත් පැමිණෙත් වා!
14 එහෙත්, මම නිරතුරු ඔබ බලාපොරොත්තුවෙන් සිටින්නෙමි;
නිතර ම වැඩි වැඩියෙන් ඔබට ප්‍රශංසා කරන්නෙමි.
15 දවස පුරා ඔබේ සාධාරණ ක්‍රියා ද ඔබේ විමුක්තිදායක ක්‍රියා ද මා මුවින් ප්‍රකාශ කරමි.
මන්ද, මම ඒවායේ ප්‍රමාණය නොදන්නෙමි.
16 දෙවි සමිඳුනි, ඔබේ බල මහිමය මම පසසන්නෙමි, ඔබේ ම, එසේ ය ඔබේ ම යහපත්කම මම ප්‍රකාශ කරන්නෙමි.
17 අනේ දෙවිඳුනි!
මාගේ තරුණ වියේ සිට ඔබ මට උගන්වා වදාළ සේක.
මම අද දක්වා ඔබේ පුදුමාකාර ක්‍රියා වර්ණනා කෙළෙමි.
18 අනේ දෙවිඳුනි!
පැසුණු කෙස් සහිත ව මහලු වියේ සිටින මා අත්නෑරිය මැනව.
ඔබේ මහිමය සහ ශක්තිය මතු පරම්පරාවලට කියා පාන තෙක් මා සමඟ සිටිය මැනව.
19 අනේ දෙවිඳුනි!
ඔබේ දැහැමිකම අහස දක්වා උසස් ය.
ඔබ ප්‍රබල ක්‍රියා කළ සේක.
ඔබට සමාන අන් කෙනෙක් නැත්තේ ය.
20 ඔබ මට බොහෝ කරදර සහ වේදනා පැමිණෙවු නමුත්,
මා යළි ප්‍රාණවත් කරන සේක.
පාතාලයේ පත්ලෙන් ඔබ මා යළි ගොඩගන්න සේක.
21 ඔබ මා උසස් කරන සේක.
ඔබ මා නැවත සනසන සේක.
22 මාගේ දෙවිඳුනි!
මම කුඩා වීණාවෙන් ඔබ ද ඔබේ විශ්වාසවන්තකම ද පසසන්නෙමි.
ඉශ්රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැන් වහන්ස,
මහා වීණාවෙන් මම ඔබට ගී ගයන්නෙමි.
23 මම ඔබට ගී ගයමින් ප්‍රශංසා කරන්නෙමි;
ඔබ මා මිදූ බැවින් මම ඔබට හද පත්ලෙන් ගී ගයන්නෙමි.
24 දවස පුරා මම ඔබේ දැහැමි ක්‍රියා ගැන කතා කරන්නෙමි.
මන්ද, මාගේ විනාශය සොයන්නන් ලජ්ජාවටත්, වියවුලටත් පත් කර ඇත.

Suba Asna - සුබ අස්න

FREE
VIEW