ගීතාවලිය – 69 වන පරිච්ඡේදය –

විලාප ගීයක්

දාවිත්ගේ ගීතයකි.
1 අනේ දෙවිඳුනි!
මා මුදාලුව මැනව.
කුමක් නිසා ද, දිය කඳ මාගේ ගෙල දක්වා නැඟී ඇත්තේ ය.
2 මම පය තැබීමට තැනක් නොමැති මඩ ගොහොරුවේ කිඳා සිටිමි;
මම ගැඹුරු දියට පැමිණ සිටිමි.
රළපතර මා යට කර උඩින් ගලා යයි.
3 මොරගැසීමෙන් මා විඩාපත් ව මාගේ උගුර වියළී ඇත්තේ ය.
මාගේ දෙවිඳුන් ගැන බලා සිටීමෙන් දෙනෙත අඳුරු වී ඇත්තේ ය.
4 නිකරුණේ මට වෛර කරන්නන්ගේ ගණන මාගේ ඉසකෙස්වලටත් වඩා වැඩි ය.
මුසා දොඩමින් මා වනසන්නට බලන අය බලවත් ය.
එබැවින් මා සොරා නොගත් දේ ආපසු දෙන්න ඔව්හු මට බල කරන්නෝ ය.
5 අනේ දෙවිඳුනි!
ඔබ මාගේ මෝඩකම දන්න සේක.
මාගේ වැරදි ඔබෙන් සැඟවී නැත්තේ ය.
6 සව් බලැති මහෝත්තම දෙවි ස්වාමීනි, ඔබ කෙරෙහි බලාපොරොත්තුව තබන්නෝ මා නිසා ලජ්ජාවට පත් නොවෙත් වා!
ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුනි, ඔබ සොයන්නෝ මා නිසා නින්දාවට නොපැමිණෙත් වා!
7 ඔබ තුමන් උදෙසා මම අපවාදයට ලක් වුණෙමි.
මාගේ මුහුණ ඒ ලජ්ජාවෙන් වැසී ඇත්තේ ය.
8 මාගේ සොහොයුරන්ට මම නාඳුනන්නෙක් වීමි;
මාගේ මවගේ පුත්‍රයන් හට මම විදේශිකයෙක් වීමි.
9 ඔබේ දෙව් මැදුරට ඇති උද්‍යෝගය මා දවන්නේ ය.
ඔබට නින්දා කරන්නන්ගේ නින්දා මා පිට පැටවී ඇත්තේ ය.
10 එබැවින් මා කඳුළු සලමින් උපවාස කරන විට සෙනඟ මට නින්දා කරන්නෝ ය.
11 ගෝණි රෙද්දෙන් මාගේ වස්ත්‍ර මම සාදාගතිමි.
එවිට මම ඔවුන්ගේ සමච්චලයට ලක් වුණෙමි.
12 මඟ තොටේ කට කතාව මා ගැන ය;
බේබද්දෝ මා ගැන අවමන් කවි කියන්නෝ ය.
13 එහෙත් සමිඳුනි, මාගේ අයැදුම ඔබට ය.
අනේ දෙවිඳුනි!
ඔබ රිසි වේලාවක මට පිළිතුරු දුන මැනව!
ඔබේ අධික ප්‍රේමයෙන් ඔබ දුන් ගැළවීමේ පොරොන්දුව ඉටු කරන නිසා,
මට උත්තර දුන මැනව!
14 මට එරී යන්න නොදී මඩ වගුරෙන් මා මුදාගත මැනව!
මාගේ සතුරාගෙන් ද ගැඹුරු ජලයෙන් ද මා මුදාගත මැනව!
15 රළ පතරට මම යට නොවෙම් වා!
ගැඹුරු සමුදුරට මම ගොදුරු නොවෙම් වා!
පාතාලය මුව අයා මා ගිල නොගනී වා!
16 සමිඳුනි, ඔබේ තිර පෙම යහපත් බැවින් මට පිළිතුර දුන මැනව!
ඔබේ ඉමහත් දයාව අනුව ඔබේ මුහුණ මා වෙත හැරෙව්ව මැනව!
17 ඔබේ දාසයා වෙතින් ඔබ මුහුණ ඉවතට නොගත මැනව!
මා විපතට පත් ව සිටින බැවින් යුහු ව මට පිළිතුරු දුන මැනව!
18 මා වෙත ළඟා වී මා ගළවාගත මැනව;
සතුරන්ගෙන් මා මුදාගත මැනව!
19 මාගේ නින්දාව ද ලජ්ජාව ද අපකීර්තිය ද ඔබ දන්න සේක;
ඔබ මාගේ සියලු සතුරන් දන්න සේක.
20 නින්දාව නිසා මාගේ සිත බිඳී ගොස් මම ශෝකයෙන් පිරී සිටිමි.
සනසන්නෙකු සෙවුවෙමි;
එවැන්නෙක් නො වී ය.
අස්වසන්නෙකු සෙවුවෙමි;
කිසිවෙක් සම්බ නො වී ය.
21 සාගින්නේ දී ඔව්හු මට වහ දුන්නෝ ය;
පිපාසයේ දී ඔව්හු මට තිත්ත කාඩි
බොන්න දුන්නෝ ය.
22 ඔවුන්ගේ කෑම මේසය ඔවුන්ට ම මලපතක් වේ වා!
ඔවුන්ගේ මංගල උත්සව ඔවුන්ට මර උගුලක් වේ වා!
23 නොපෙනෙන ලෙස ඔවුන්ගේ ඇස් අඳුරු වේ වා!
ඔවුන්ගේ ඉඟටිය නිබඳ සැලේ වා!
24 ඔබේ කෝපය ඔවුන් පිට වැගිරෙව්ව මැනව!
ඔබේ කෝපාග්නියට ඔව්හු යටපත් වෙත් වා!
25 ඔවුන්ගේ කඳවුරු පාළු වන්නට සැලසුව මැනව!
ඔවුන්ගේ කූඩාරම් තුළ කිසිවෙක් නොවෙසෙත් වා!
26 මන්ද, ඔබ පහර දුන් තැනැත්තාට ඔව්හු පීඩා කළෝ ය.
ඔබ තුවාළ කළ තැනැත්තාගේ වේදනාව ඔව්හු තව තවත් වැඩි කළෝ ය.
27 එබැවින් අපරාධ පිට අපරාධ ඔවුන් පිට පැවරුව මැනව!
ඔබේ ධර්මිෂ්ඨකමට ඔවුන්ට හවුල් වන්නට ඉඩ නුදුන මැනව!
28 ජීවතුන්ගේ පොතෙන් ඔවුන්ගේ නාම මකාදැමුව මැනව!
දැහැමියන්ගේ නාම අතරෙන් ඔවුන්ගේ නාම කපාදැමුව මැනව!
29 එහෙත්, මම පීඩා විඳිමින් වේදනාවෙන් සිටිමි.
අනේ දෙවිඳුනි!
මා සනසා, මා ගළවා ගත මැනව!
30 එවිට මම ගී ගයා දෙවිඳුන් පසසන්නෙමි;
තුති ගී ගයමින් මම එතුමන් බොහෝ සේ පසසන්නෙමි.
31 ගවයෙකු පිදීමට වඩා මෙවැන්නක් සමිඳුන්ට ප්‍රසන්න වන්නේ ය.
අං සහ කුර සහිත ගොනෙකු පිදීමට වඩා එය ප්‍රසන්න වන්නේ ය.
32 පීඩිතයෝ මෙය දැක ප්‍රීති ප්‍රමෝද වන්නෝ ය;
දෙවිඳුන් සොයා යන්නෝ දිරිමත් වන්නෝ ය.
33 මන්ද, සමිඳාණෝ දිළිඳුන් හට සවන් දෙන සේක;
හිරගත වී සිටින තම සෙනඟ අත් නොහරින සේක.
34 අහසත්, පොළොවත් උන් වහන්සේට ප්‍රශංසා කරත් වා!
මුහුදත්, එහි හැසිරෙන සියල්ලෝත් එතුමන්ට ප්‍රශංසා කරත් වා!
35 දෙවිඳාණෝ සියොන් කන්ද මුදාගෙන ජුදාගේ නගර ගොඩනඟන සේක.
එතුමන් සෙනඟ එහි වසමින් එය භුක්ති විඳින්නෝ ය.
36 එතුමන්ගේ සේවක පෙළපත එය උරුම කරගන්නෝ ය.
දෙව් නමට පෙම් කරන්නෝ එහි වාසය කරන්නෝ ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW