ගීතාවලිය – 64 වන පරිච්ඡේදය –

ගරහන්නන්ට ලැබෙන දඬුවම

දාවිත්ගේ ගීතයකි.
1 දෙවිඳුනි, මා පැමිණිලි කරන විට මා හඬට කන් දුන මැනව;
මේ භයානක සතුරන්ගෙන් මාගේ ජීවිතය ආරක්ෂා කළ මැනව.
2 දුෂ්ටයන්ගේ උපායවලින් මා රැකගත මැනව;
කලහකාරී සෙනඟගෙන් මා ආරක්ෂා කළ මැනව.
3 ඔව්හු අසිපත් මෙන් තමන්ගේ දිව් මුවහත් කරගනිති;
ඔව්හු ඊගස් මෙන් පරුෂ වචන විදිති.
4 ඔව්හු සැඟවී සිට නිදොස් අයට විදින්නෝ ය;
අනතුරු ඇඟවීමක් නොකර හදිසියෙන් විදින්නෝ ය.
5 දුෂ්ට අරමුණු සඳහා ඔව්හු එකිනෙකාට අනුබල දෙන්නෝ ය;
ඔවුන්ගේ උගුල කොතැන සඟවා අටවන්න දැ යි සාකච්ඡා කරන්නෝ ය.
”අප දකින කෙනෙක් නැතැ”යි ඔව්හු සිතන්නෝ ය.
6 ”අපේ අපරාධ සොයා ගත හැක්කේ කවරෙකුට ද?
අපි කෛරාටික ලෙස උගුලක් ඇටවීමු.”
මන්ද මනුෂ්‍යයාගේ සිතුවිලි හා අභ්‍යන්තරය ඉතා ගැඹුරු බැවිනි.
7 දෙවිඳාණෝ ඔවුන්ට ඊගසින් විදින සේක;
අනතුරු ඇඟවීමක් නොකර හදිසියෙන් ඔවුන්ට තුවාළ කරන සේක.
8 අති උත්තමයාණෝ මුසා දොඩන්නන් වනසන සේක.
ඔවුන් දකින සියල්ලෝ හිස් වනන්නෝ ය.
9 මිනිසුන් සැම දෙන බිය වී දෙවිඳුන්ගේ ක්‍රියා ප්‍රකාශ කරන්නෝ ය.
”එතුමාණන් එසේ කෙළේ කුමක් නිසා දැ”යි
ඔව්හු සිතන්නෝ ය.
10 දැහැමියා, සමිඳුන් තුළ ප්‍රීති ප්‍රමෝද වී එතුමාණන් සරණ සොයා යන්නේ ය;
අවංක සිතැති තැනැත්තා ප්‍රීතියෙන් පිරී යන්නේ ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW