ගීතාවලිය – 62 වන පරිච්ඡේදය –

මිනිසාගේ එක ම බලාපොරොත්තුව

දාවිත්ගේ ගීතයකි.
1 මාගේ සිතට සහනය ඇත්තේ දෙවිඳුන් තුළ පමණකි;
මට ගැළවීම ලැබෙන්නේ එතුමාණන්ගෙන් පමණකි.
2 මාගේ පර්වතයත්, ගැළවීමත්, බලකොටුවත් එතුමාණෝ පමණකි;
එබැවින් මම නොසැලී සිටින්නෙමි.
3 මම ඇල වුණ බිත්තියක් ද සෙලවෙන තාප්පයක් ද වැනි මිනිසෙක් වෙමි;
ඔබ කොපමණ කල් මට තාඩන පීඩන කරන්නහු ද?
4 උසස්කමෙන් ඔහු නෙරපාදැමීමට ඔව්හු උපා යොදති;
බොරු කීමට ප්‍රිය වෙති;
මුවින් ආසිරි පතන නමුත්, සිතින් සාප කරති.
5 මාගේ සිතට සහනය ඇත්තේ දෙවිඳුන් තුළ පමණකි;
මට ගැළවීම ලැබෙන්නේ එතුමාණන්ගෙන් පමණකි.
6 මාගේ පර්වතයත්, ගැළවීමත්, බලකොටුවත් එතුමාණෝ පමණකි;
එබැවින් මම නොසැලී සිටින්නෙමි.
7 මාගේ ගැළවීමත්, මාගේ මහිමයත් දෙවිඳුන්ගෙන් ය;
මාගේ ශක්තිය රඳා ඇති පර්වතයත්, සරණත් එතුමාණෝ ය.
8 ජනයෙනි, දෙවිඳාණන් තුළ සැමදා විශ්වාසය තබන්න;
එතුමාණෝ අප සරණය වන සේක.
එතුමාණන් අබිමුව ඔබේ දුක්ගැනවිලි පවසන්න.
9 පහළ පෙළේ අය සුළං රොදකි;
ඉහළ පෙළේ අය මායාවකි;
කිරා බලන විට දෙපක්ෂය ම සැහැල්ලු ය.
සුළං රොදකටත් වඩා සැහැල්ලු ය.
10 බලහත්කාරකම කෙරෙහි විශ්වාසය නොතබන්න;
කොල්ලකාගත් දේ ගැන සිත යොමු නොකරන්න;
වස්තුව වැඩි වුණත් ඊට ඇලුම් නොවන්න.
11 දෙවිඳුන් මෙසේ පැවසූ බව මා බොහෝ වර අසා ඇත.
එනම්, ‘බලය දෙවිඳුන් සතු ය;
12 සමිඳුනි, තිර පෙම ඔබ සතු ය.
මන්ද, මිනිසා කළ කළ දේ අනුව ඔබ විපාක දෙන සේක’ යනු යි.

Suba Asna - සුබ අස්න

FREE
VIEW