ගීතාවලිය – 57 වන පරිච්ඡේදය –

කුරිරු රුපුන් මැද විශ්වාසය

දාවිත් සාවුල් ඉදිරියෙන් ගුහාවට පලා ගිය පසු දාවිත් ගැයූ ගීතයකි.
1 මට අනුකම්පා කළ මැනව; අහෝ දෙවිඳුනි! මට අනුකම්පා කළ මැනව.
මම ඔබ සරණ පතමි;
විපත් කුණාටුව පහ වී යන තෙක්, ඔබ පියාපත් සෙවණෙහි මම රැකවරණය පතමි.
2 අතිඋතුම් දෙවිඳුන් හට මම හඬ ගසන්නෙමි;
මට සියල්ල සලසා දෙන අතිඋතුම් දෙවිඳුන් හට මම හඬ ගසන්නෙමි.
3 මා පෙළන අයගෙන් මා මුදාලීමට එතුමාණෝ සගලොවින් පිහිට එවන සේක.
දෙවිඳාණෝ තමන් කරුණාවත්, සත්‍යතාවත් එවන සේක.
4 මිනිසුන් කන සිංහයන් වැනි රුපුන් මැද මම වැතිර සිටින්නෙමි.
උන්ගේ දත් හෙල්ල හා ඊගස් වැන්න;
උන්ගේ දිව් මුවහත් අසිපත් වැන්න.
5 දෙවිඳුනි, ඉහළින් වැඩ සිට ඔබේ ශ්‍රේෂ්ඨත්වය දැක්වුව මැනව.
ඔබේ මහිමාලංකාරය ලොව පුරා පැතිර ඇත්තේ ය.
6 මා දුක් බරින් යට වූ විට මාගේ සතුරෝ මා පයට දැලක් එළූ හ;
මා වැටෙන පිණිස කැණූ වළෙහි ඔව්හු ම වැටුණෝ ය.
7 දෙවිඳුනි!
මට අචල විශ්වාසයක් ඇත්තේ ය.
මම ගී ගයා ඔබ පසසමි.
8 මාගේ හදවත, අවදි වන්න!
එම්බා!
කුඩා වීණාව, මහා වීණාව, පිබිදෙන්න!
එවිට මම උදාහිරු අවදි කරන්නෙමි.
9 සමිඳුනි!
මම ජනතාව අතර ඔබ පසසමි;
විජාතීන් අතර මම ඔබට ගී ගයමි.
10 ඔබේ කරුණාව සගලොව දක්වා නඟින්නේ ය.
ඔබේ සත්‍යවාදිකම අහස උසට නැඟී ඇත්තේ ය.
11 දෙවිඳුනි, අහසට වඩා ඔබේ ශ්‍රේෂ්ඨත්වය උසස් බව දැක්වුව මැනව.
ඔබේ මහිමාලංකාරය ලොව පුරා පැතිරේ වා!

Suba Asna - සුබ අස්න

FREE
VIEW