ගීතාවලිය – 56 වන පරිච්ඡේදය –

අනතුරේ දී දෙවිඳුන් කෙරෙහි විශ්වාසය

පිලිස්තිවරුන් ගාත් නම් ස්ථානයේ දී දාවිත් අල්ලාගත් පසු ඔහු ලියූ සෙල් ලිපියකි.
1 දෙවිඳුනි, මට දයා වුව මැනව.
මිනිස්සු මා ලුහුබැඳ එන්නෝ ය;
දවස පුරා ඔව්හු මට පීඩා කරන්නෝ ය.
2 සතුරෝ දවස පුරා මා ලුහුබැඳ එන්නෝ ය.
මට එරෙහි ව කොපමණ අය සටන් කරන්නෝ ද?
3 අතිඋතුම් දෙවිඳුනි, යම් දිනෙක මම බිය වන්නෙම් ද?
එදින මම ඔබ තුළ විශ්වාසය තබන්නෙමි.
4 මම දෙවිඳුන්ගේ වචනය පසසන්නෙමි;
මම නොබිය ව, එතුමන් තුළ විශ්වාසය තබන්නෙමි.
සතුරන් විසින් මට කරනු ලැබිය හැකි දෙයක් ඇද් ද?
5 ඔව්හු දවස පුරා මට ගරහන්නෝ ය;
ඔවුන්ගේ එක ම අදහස මට නපුරක් කිරීම වන්නේ ය.
6 ඔව්හු කුමන්ත්‍රණය කරමින් සැඟවී සිට,
මා යන එන විට බලා සිටින්නෝ ය;
මා වැනසීමට නිරතුරු බලා සිටින්නෝ ය.
7 ඔවුන්ගේ අපරාධයට විපාක දුන මැනව;
අහෝ දෙවිඳුනි!
උදහස් වී ඔබ ඒ ජනයා පරාජය කළ මැනව.
8 මාගේ කන්නලව්ව ඔබ ම සටහන් කළ මැනව;
ඔබේ බඳුනෙහි මාගේ කඳුළු එකතු කළ මැනව;
ඒවා ඔබේ පොතේ සටහන් වී නැද් ද?
9 මා ඔබ අයැදින දවසෙහි මාගේ සතුරෝ පසු බැස යන්නෝ ය.
දෙවිඳුන් මට පක්ෂ බව එවිට මම දැනගන්නෙමි.
10 මම දෙවිඳුන්ගේ වචනය පසසන්නෙමි;
දෙවිඳුන්ගේ වචනය ගැන උදන් අනන්නෙමි.
11 දෙවිඳුන් කෙරෙහි නොබිය ව මාගේ විශ්වාසය තබන්නෙමි;
මිනිසා මට කුමන අනතුරක් කිරීමට සමත් වන්නේ ද?
12 දෙවිඳුනි, ඔබට පොරොන්දු වූ බාරහාර මම ඉටු කරන්නෙමි;
ඔබට තුති පූජා පුදන්නෙමි.
13 මන්ද, ඔබ, මා මරණින් මිදූ සේක.
මාගේ පාද පැකිළීමෙන් වැළැක්වූ සේක.
එසේ කෙළේ, ජීවනාලෝකයෙහි දෙවිඳුන් අබියස මා හැසිරෙන පිණිස ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW